නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ 07 දෙනෙකු නාවික හමුදා භාරයට

By Gagana News Feb 28, 2025 09:16 PM GMT
Report


නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිත කරමින් මසුන් ඇල්ලීම සිදුකළ සහ රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයින් හත් දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, කින්නියා, සින්නවේලි, සල්ලිමුනෙයි, නන්දිකඩාල් සහ වංකාලේ වෙරළ හා මුහුදු ප්‍රදේශයන්හි සිදු කළ වැටලීම්වලදීයි. එහිදී එම පුද්ගලයින් සමඟ ධීවර යාත්‍රා දෙකක්, නීති විරෝධී ධීවර දැල් 65ක්, ඩෙටනේටර් 04ක්, ජෙලග්නයිට් කූරු දෙකක් සහ සේවා නූල් හතරක් සිය භාරයට ගත් බව නාවික හමුදාව ප්‍රකාශ කළේය. එලෙස ඔවුන්ගේ භාරයට ගත් සැකකරුවන් අවුරුදු 24ත් 71ත් අතර වයස්වල පසුවන කල්මුනායිකුඩි, කල්මුනේ, නිලාවේලි, මන්නාරම සහ වංකාලේ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව අනාවරණය වී ඇති අතර සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාළ ප්‍රදේශවල ධීවර පරික්‍ෂක කාර්යාල වෙත භාර දුන් බව නාවික හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කොට තිබේ.