අනවසරෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 9 දෙනෙකු නාවික හමුදා භාරයට
ඉන්දීය ධීවරයින් 9 දෙනෙකු යාපනය කරෙයිනගර් මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් භාරයට ගෙන ඇත.
නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ යාත්‍රා දෙකක්ද සිය භාරයට ගත් බවයි.
යාපනය කරෙයිනගර්, කෝවිලම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ දේශීය ජල තීරය වෙත ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක් උතුරු නාවික විධානය මඟින් නිරීක්ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක්, එම නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා යාත්‍රා යොදවා සිදු කරන ලදි.
තවද දේශීය ජල තීරයේ තවදුරටත් අනවසර ධීවර කටයුතු සිදුකරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් වෙත, ශ්‍රී ලංකා නාවික හමුදාව නීත්‍යනුකූලව ගොඩ වී පරීක්‍ෂා කර තිබේ.
ඒ අනුව දේශසීමා නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු එම ඉන්දීය ධීවර යාත්‍රා 02 සමඟ ඉන්දීය ධීවරයන් 09 දෙනෙකු මේ අයුරින් සිය භාරයට නාවික හමුදා ගෙන ඇත.
නාවික හමුදාව සඳහන් කරන්නේ තවද මේ මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා සහ ඉන්දීය ධීවරයන් ඉදිරි නීතිමය කටයුතුවලට යාපනය මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදුන් බවයි.