ඉතාලි හා ලංකා රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගනියි
ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම සඳහා ද්විපාර්ශ්වික ගිවිසුම්වලට අත්සන් තැබීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමි කර ඇත.
2011 වසරේදී ආරම්භ වූ මෙම ගිවිසුම් 2021 වසරේදී වලංගුභාවයෙන් බැහැර වූ අතර, දැන් එය යාවත්කාලීන කරමින් තාක්ෂණික සංශෝධන ඇතුළත් කර නැවත බලාත්මක කිරීමට දෙපාර්ශ්වය අතර එකඟතාවක් ඇති වී තිබේ.
ඒ අනුව, වසර 6කට අඩු කාලයක් ඉතාලියේ පදිංචිව සිටින හෝ ඉතාලි පුරවැසිභාවය ලබාගැනීමට පෙර ශ්‍රී ලාංකික වලංගු රියදුරු බලපත්‍රයක් හිමි ශ්‍රී ලාංකිකයන්ට රියදුරු බලපත්‍ර පරිවර්තනය මගින් ඉතාලි රියදුරු බලපත්‍රයක් ලබාගැනීමට හැකි වේ. ශ්‍රී ලංකාවේ පදිංචි ඉතාලි ජාතිකයන්ට ඔවුන්ගේ වලංගු ඉතාලි රියදුරු බලපත්‍ර ශ්‍රී ලාංකික බලපත්‍ර ලෙස බලාත්මක කිරීමට හැකි වේ.
මෙම යාන්ත්‍රණය ස්ථාපිත කිරීමේදී ගිවිසුමේ විධිවිධාන අනුගමනය කෙරෙනු ඇත.
ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ මෙම අනුමැතිය හිමි වූ බවත්, ඉදිරියේදී දෙපාර්ශ්වය අතර අත්සන් තැබීම් සිදුවනු ඇති බවත් රජයේ ආරංචි මාර්ග පවසයි.
මෙම ගිවිසුම් යාවත්කාලීන කිරීම මගින් දෙරටේ පදිංචිකරුවන්ට රියදුරු බලපත්‍ර සම්බන්ධ ගැටලු අවම කරගැනීමට හා ගමන් බිමන් පහසු කිරීමට බලපානු ඇත.