වසර 15කට පසු ලංකාවට එන දැවැන්තම ජාත්‍යන්තර පෙරළිය

By Malith Madushan Jun 13, 2026 11:36 AM GMT
Report

ශ්‍රී  ලංකාවට විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමත්, ජාත්‍යන්තර ආයෝජකයන් මෙරටට ඇද ගැනීමත් අරමුණු කරගෙන සංවිධානය කිරීමට නියමිත ‘Sri Lanka Expo 2027’ ප්‍රදර්ශනය සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ඊයේ (12) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.

2027 ජනවාරි 14 සිට 17 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH)දී පැවැත්වීමට නියමිත මෙම ප්‍රදර්ශනය, වසර 15ක කාලයකට පසු යළි සංවිධානය වන අතර, ඉදිරියේදී එය වසර දෙකකට වරක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවද සඳහන් වේ.

මෙම වැඩසටහන විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

සඳහා අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නියෝජනය කරන ප්‍රධානීන්, එමෙන්ම කොළඹ පිහිටි විදේශීය තානාපති කාර්යාල සහ මහකොමසාරිස් කාර්යාල නියෝජනය කරමින් දූත මණ්ඩල ප්‍රධානීන් රැසක් සහභාගී වූහ.

නවදිල්ලිය, ඩකා සහ ඉස්ලාමාබාද්හි පදනම් කරගත් ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් ද මෙම අවස්ථාවට මාර්ගගතව එක්ව සිටියහ.

මෙම ප්‍රදර්ශනය සඳහා ලොව පුරා සිටින ව්‍යාපාරිකයන් හා ආයෝජකයන් ඇතුළු 1,500කට ආසන්න පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසකගේ සහභාගීත්වය මේ වනවිටත් තහවුරු වී ඇති බව වාර්තා වේ.

මෙරට ප්‍රමුඛ අපනයනකරුවන්ගේ ප්‍රදර්ශන කුටි මෙන්ම ජාත්‍යන්තර ප්‍රදර්ශන කුටි ද ඇතුළුව සමස්තයක් ලෙස කුටි 700කට අධික සංඛ්‍යාවක් මෙහිදී ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.

ඊයේ (12) පැවැති මෙම දැනුවත් කිරීමේ වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ, විදේශීය ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා රාජ්‍යතාන්ත්‍රික සහාය ලබාගැනීම බවද සඳහන් වේ.