නේපාලයේ ගංවතුරෙන් විපතට පත් ජනතාවට ලංකාවෙන් ඩොලර් මිලියනයක ආධාර
නේපාලයට බලපෑ හදිසි ජල ගැලීමෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් ලබාදීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත මෙම මූල්‍ය දායකත්වය ලබාදීමට තීරණය කර ඇති අතර, ඒ හරහා විපතට පත් ජනතාව සඳහා හදිසි සහන සහ මානුෂීය ආධාර සැපයීමට අපේක්ෂා කෙරේ.
ජල ගැලීම හේතුවෙන් සිදුව ඇති ජීවිත හානි සහ ජනතාව මුහුණ දී ඇති පීඩාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය බලවත් කනගාටුව පළ කර තිබේ.
එමෙන්ම, විපතට පත් පවුල් වෙත ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ සාතිශය සංවේගය පළ කරන බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව සිහිපත් කරමින් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ, මෙම දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාව නේපාල ජනතාව සමඟ සහයෝගයෙන් සිටින බවයි.
මේ අතර, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා නේපාල විදේශ කටයුතු අමාත්‍ය ශිෂීර් ඛනාල් මහතා සමඟ අද පෙරවරුවේ දුරකථන සංවාදයක නිරත වෙමින් ශ්‍රී ලංකාවේ ශෝකය, සහයෝගය සහ සහෝදරත්වය පළ කර තිබේ.
නේපාලයේ සහන සහ ප්‍රතිසාධන කටයුතු සඳහා ඉදිරියේදී ශ්‍රී ලංකාවට ලබාදිය හැකි තවත් සුදුසු සහයෝගීතා ක්‍රමවේද පිළිබඳවද රජය අවධානය යොමු කරමින් සිටින බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි.