ලෝකයේ වැඩිම මිලට ඩීසල් ගත්තේ ලංකාවද? ගම්මන්පිලගෙන් ඩොලර් මිලියන ගණනක තෙල් බෝම්බයක්

Report

පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේදී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ඉන්ධන මිලදී ගැනීම් සම්බන්ධයෙන් බරපතළ චෝදනා ඉදිරිපත් කළේය.

ඔහු පැවසුවේ පසුගිය ඉන්ධන අර්බුද සමයේ ලෝකයේ ඉහළම මිලක් ලෙස ඩොලර් 286ක් ගෙවා ඩීසල් බැරලයක් මිලදී ගෙන ඇත්තේ ලංකා ඛනිජතෙල් සංස්ථාව බවයි. මෙම තොරතුරු එච්එස්බීසී බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා විසින්ද ප්‍රකාශ කර ඇති බවද ඔහු සඳහන් කළේය.

මුල් අවස්ථාවේදී මෙම මිල බොරතෙල් සඳහා නොව ඩීසල් සඳහා ගෙවූවක් බව පසුව පැහැදිලි වූ අතර, එම කරුණ පිළිබඳව මුලින්ම නිසි ලෙස ජනතාවට හෙළි නොකිරීම සම්බන්ධයෙන්ද ඔහු විවේචනය කළේය.

ගම්මන්පිල මහතා සඳහන් කළේ 2026 අප්‍රේල් මස මුල් සතියේ සිංගප්පූරු ප්ලැට්ස් මිල දර්ශකය අනුව ඩීසල් සාමාන්‍ය මිල ඩොලර් 224ක් වන අතර, එයට සාපේක්ෂව ඩොලර් 286ක් ගෙවීමෙන් බැරලයකට ඩොලර් 62ක අධිමිලක් ගෙවා ඇති බවයි.

එමෙන්ම, සාමාන්‍යයෙන් තෙල් නැවක බැරල් ලක්ෂ තුනක් පමණ පවතින බැවින්, එක් නැවක් සඳහා පමණක් ඩොලර් මිලියන 18.6ක් හෝ රුපියල් කෝටි 586කට අධික අතිරේක මුදලක් ගෙවා ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

නැව් ගාස්තු, රක්ෂණය සහ සැපයුම්කරුගේ ලාභය යන කරුණු සම්බන්ධයෙන්ද ගැටලු පවතින බව සඳහන් කළ ඔහු, මෙම ගනුදෙනුව පිළිබඳ සම්පූර්ණ තොරතුරු මෙතෙක් හෙළි නොකළ බවද චෝදනා කළේය.

තවද, හිටපු බලශක්ති අමාත්‍යවරයා සම්බන්ධයෙන්ද දූෂණ චෝදනා එල්ල කළ ගම්මන්පිල මහතා, තම ප්‍රකාශය අසත්‍ය නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් අභියෝග කළේය.