අවාරේ සිරිපා කරුණා කරන්න විශේෂ අවසරයක්...
පසුගිය 13 වැනිදා සිරිපා වන්දනා වාරය අවසන් කිරීම නිමිත්තෙන් හා පෙරහර කටයුතු සංවිධානය වෙනුවෙන් පැල්මඬුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවක දී ශ්‍රී පාදස්ථානාධිපති, රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක, බෙන්ගමුවේ ධම්මදින්න හිමියෝ බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරති.
ඒ මෙවර අවාරයේ ශ්‍රී පාදස්තානය කරුණා කරන්නේ නම්, ඒ සඳහා රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් අවසර ලබාගන්නා ලෙසයි.
අවාරයේ සිරිපා මාර්ගවල විදුලිය ඇතුළු පහසුකම්ද , ආරක්ෂාවට පොලිස් නිලධාරීන් හෝ සෞඛ්‍ය සේවකයින් ඇතුළු කණ්ඩායම්ද නොමැති බැවින් එම කාලය වන්දනාකරුවන්ට අනාරක්ෂිත බව උන්වහන්සේ මෙහි දී පෙන්වා දෙති.
එම නිසා මෙය බැතිමතුන්ට කරන ලද නියෝගයක් නොවන බවත් අවාරයේ සිරිපා කරුණා කිරීම වැළැක්වීමට තමාට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් උන්වහන්සේ වැඩි දුරටත් සඳහන් කළහ.
"අවාරයේ සිරිපා කරුණා කරන යම් අයකු එහිදී රෝගාතුර වුණොත් දැඩි අවදානමක් මතුවනවා. ගියවර අවාරේ ගිය ඇතැම් අය ජල නළවලට, අම්බලන්වලට හා වැසිකිළිවලට සිදුකර තිබූ හානිය පිළිසකර කරන්න අමතරව රුපියල් ලක්ෂ 20ක් පමණ වැය වුණා. පරිසරයට මුදා හැර තිබූ නොදිරන කසළ ඇතුළු අපද්‍රව්‍ය ඉවත් කරන්න කණ්ඩායම් යොදවා නැති බැවින් පරිසරයටත් ලොකු හානියක් සිදුව තිබුණා. අවාර කාලය වෙන් කර තිබෙන්නේ මෙහි පරිසරයට සතා සිවුපාවට යළි හැඩ ගැසෙන්නයි. එම කාලයෙත් සිරිපා වන්දනාවේ ගියහොත් ගහ කොළට හා සතා සිවුපාවන්ටත් නිදහසක් නැති වෙනවා." යැයිද උන්වහන්සේ මෙහි දී සඳහන් කළහ.