කොළඹ බලා එන මහනුවර දුම්රිය මගීන්ට රඹුක්කන දක්වා විශේෂ බස් සේවාවක්
පැවති ආපදා තත්ත්වයෙන් පසු අදින්(17) ආරම්භ වන නව පාසල් වාරය සඳහා සිසුන්ගේ ගමන් බිමන් පහසු කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විශේෂ පියවර රැසක් ගෙන ඇති බව මණ්ඩලයේ සභාපති ඉංජිනේරු සජීව කනකරත්න මහතා පැවසීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය දැනුම්දීමේ හමුවකට එක්වෙමින් සභාපතිවරයා සඳහන් කළේ, දෙසැම්බර් මාසය පුරා නිල ඇඳුම් හෝ වාර ප්‍රවේශපත්‍රය නොමැති පාසල් සිසුන්ටද ගමනාගමන මණ්ඩලයේ බස්රථවලින් ගමන් කිරීමට අවසර ලබාදී ඇති බවයි.
මේ වන විට මණ්ඩලය සතු බස්රථවලින් 99%ක් යථා තත්ත්වයට පත්කර ඇති අතර, අද (16) වන විට බස්රථ 4,479ක් ධාවනයට යොදවා ඇතැයිද ඔහු පැවසීය. දහවල් 12ට පෙර මඟීන් මිලියනයකට ආසන්න ප්‍රමාණයක් ගමන් බිමන් සඳහා රැගෙන ගොස් ඇති බවද සභාපතිවරයා අවධාරණය කළේය.
ආපදා හේතුවෙන් බිඳවැටුණු මහනුවර – කොළඹ දුම්රිය මාර්ගයේ ගමන් බිමන් පහසු කිරීම සඳහා විශේෂ බස් සේවා ආරම්භ කර ඇති බවත්, මහනුවර සිට රඹුක්කන දක්වා දුම්රිය මගීන් රැගෙන යාමට බස් දෙකක් යොදවා ඇති බවත් ඔහු සඳහන් කළේය.
ඒ අනුව,
- පෙ.ව. 4.15ට සහ පෙ.ව. 4.45ට මහනුවර සිට රඹුක්කන දක්වා බස් දෙකක් පිටත් වේ.
- එම බස්වලින් රඹුක්කනට පැමිණෙන මගීන් පෙ.ව. 5.57ට සහ පෙ.ව. 6.20ට පිටත්වන කොළඹ බලා ධාවනය වන දුම්රියට සම්බන්ධ කෙරේ.
එසේම,
- රඹුක්කන සිට මහනුවර දක්වා ප.ව. 6.30ට සහ ප.ව. 7.00ට බස් දෙකක් පිටත් වේ.
- කොළඹ සිට රඹුක්කනට පැමිණෙන දුම්රිය මගීන් එම බස්වලින් මහනුවර දක්වා රැගෙන යනු ඇත.
මෙම බස් සේවා දුම්රිය කාලසටහනට සම්බන්ධ කරමින් ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරෙන බව සභාපතිවරයා පැවසීය.
එමෙන්ම නුවර - ගම්පොළ හරහා කොළඹ බස් සේවා, නුවර - වැලිමඩ බස් සේවා යළි ආරම්භ කර ඇති අතර, රඹුක්කන - කෑගල්ල මාර්ගයේ බස් සේවා තර කර ඇති බවද ඉංජිනේරු සජීව කනකරත්න මහතා සඳහන් කළේය.