ස්පාඤ්ඤය බෙල්ජියම පරදා අවසන් පුර්ව වටයට - ප්‍රංශය ඉදිරියේ ප්‍රබල ගැටුමක්
පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ස්පාඤ්ඤය සමත් වූ අතර බෙල්ජියම ගෝල 2-1කින් පරාජය කළහ. අද (11) අලුයම අමෙරිකාවේ SoFi Stadium ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයෙන් පරාජයට පත් වූ බෙල්ජියමට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.
තරගයේ පළමු අර්ධය නිමාවන විට දෙපිලම ගෝල 1-1ක් ලෙස සම තත්ත්වයේ පසුවිය.
දෙවැනි අර්ධයේදී ද කණ්ඩායම් දෙකම ප්‍රබල ප්‍රහාර සහ ආරක්ෂණ රටාවක් අනුගමනය කළ අතර, තරගයේ තීරණාත්මක අවස්ථාව උදා වූයේ 88 වැනි මිනිත්තුවේදීය.
එම මිනිත්තුවේදී වාර්තා වූ ජයග්‍රාහී ගෝලයත් සමග ස්පාඤ්ඤය අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කරගත්තේය.
2010 වසරේ දකුණු අප්‍රිකාවේදී අවසන් වරට පාපන්දු ලෝක ශූරතාව දිනාගත් ස්පාඤ්ඤය, වසර 16කට පසු නැවතත් ශූරතාවක් ඉලක්ක කරමින් මෙවර තරගාවලියේ ඉදිරියට පැමිණ සිටී.
අනෙක් අතට, 2018 රුසියානු ලෝක කුසලානයේ තෙවැනි ස්ථානය හිමිකරගැනීම බෙල්ජියමේ හොඳම දක්ෂතාව ලෙස තවදුරටත් පවතින අතර, මෙවර ඔවුන්ගේ ශූරතා බලාපොරොත්තුව අවසන් පූර්ව වටයට පෙර අවසන් විය.
මෙම ජයත් සමග ස්පාඤ්ඤය අවසන් පූර්ව වටයේදී ප්‍රංශය සමග තරග වැදීමට නියමිතය. එම තරගය අමෙරිකාවේ ඩලස් ක්‍රීඩාංගණයේදී ජූලි 15 වැනිදා මෙරට වේලාවෙන් අලුයම 12.30ට පැවැත්වීමට සැලසුම් කර තිබේ.