සැප්තැම්බර් 12 අනුරාධපුර රැලිය පැවැත්වීම සම්බන්ධයෙන් පොහොට්ටුවෙන් විශේෂ තීරණයක්
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නගා ඇති සියලු චෝදනා පදනම් විරහිත මෙන්ම පූර්ණ දේශපාලන අරමුණු පෙරදැරිව සිදුකරන ලද ඒවා බව ශ්රී ලංකා පොදුජන පෙරමුණ ප්රකාශ කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂයේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කරන්නේ, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වැනි ස්වාධීන ආයතන ස්ථාපිත කළේ රටේ දූෂණය සහ වංචාව මුලිනුපුටා දැමීමට මිස ආණ්ඩුවේ දේශපාලන ප්රතිවාදීන් මර්දනය කිරීමේ ආයුධයක් ලෙස භාවිත කිරීමට නොවන බවයි.
ස්වාධීන රාජ්ය ආයතන දේශපාලනික තර්ජන සහ පළිගැනීම් සඳහා මෙවලමක් ලෙස යොදාගැනීමට ආණ්ඩුව පෙළඹෙන්නේ නම්, එය මෙරට ප්රජාතන්ත්රවාදයට එල්ල වන දැඩි තර්ජනයක් බැවින් රටට සහ ප්රජාතන්ත්රවාදයට ගරු කරන සියලුම පුරවැසියන් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බව ද අදාළ නිවේදනයේ පෙන්වා දී ඇත.
වත්මන් ආණ්ඩුවේ ක්රියාකලාපය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව එක්රැස් කරමින් ශ්රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන දැවැන්ත ජන රැලිය එළැඹෙන සැප්තැම්බර් 12 වනදා අනුරාධපුරයේදී පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබුණි.
එම රැලිය සඳහා විශාල ජනතාවක් සහභාගී වන බවට ලැබුණු තොරතුරු හමුවේ, ජනතා නැගී සිටීම වැළැක්වීමේ සෘජු අරමුණින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවට පක්ෂ මහලේකම්වරයා වැඩිදුරටත් චෝදනා කරයි.
කෙසේ වෙතත්, නාමල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවද, ඔහු අපේක්ෂා කළ ආකාරයෙන්ම එළැඹෙන 12 වනදා අනුරාධපුරයේදී සංවිධානය කර ඇති ජන රැලිය අතිසාර්ථක ලෙස පවත්වන බව ද ශ්රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරයි.