විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 98කට සීමාවෙයි
එංගලන්තයේ බ්‍රිස්ටල්හිදී ඉතාමත් උද්වේගකර අන්දමින් පැවැත්වෙන විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තීරණාත්මක තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19 යි දශම 4 ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 98 ක් වැනි සුළු ලකුණු සංඛ්‍යාවක් පමණි.
මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ප්‍රතිවාදීන්ට එරෙහිව යම් තරමක හෝ සාර්ථක සටනක් දියත් කිරීමට සමත් වූයේ මැදපෙළ පිතිකාරිණියන් වන නිලක්ෂිකා ද සිල්වා සහ කවිෂා දිල්හාරි පමණි.
එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ නිලක්ෂිකා ද සිල්වා පන්දු 26 කදී ලකුණු 30 ක් සහ කවිෂා දිල්හාරි පන්දු 20 කදී ලකුණු 21 ක් රැස් කිරීමට සමත් වූහ.
සෙසු කිසිදු ඉදිරිපෙළ හෝ පසුපෙළ පිතිකාරිණියකට ලකුණු අතරට පිවිසීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ දක්ෂ පන්දු යවන්නියන් කිසිදු ඉඩක් ලබා නොදුන්හ.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තවදුරටත් ජීවමානව රඳවා ගැනීමට නම් මෙම තරගයේ ජයග්‍රහණය ලබා ගැනීම අතිශය වැදගත් සහ අනිවාර්ය වේ.
නිල ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාව මේ වනවිට බී කාණ්ඩයේ 4 වැනි ස්ථානයේ පසුවන අතර මෙතෙක් තමන් ක්‍රීඩා කළ මූලික වටයේ තරග 2 ම විශිෂ්ට ලෙස ජයගෙන සිටින බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එම කාණ්ඩයේ 2 වැනි ස්ථානයේ පසුවේ.
ශ්‍රී ලංකාව මෙවර මූලික වටයේදී ක්‍රීඩා කරනු ලබන තෙවැනි නිල තරගය මෙය වන අතර ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමිව ඇති සමස්ත ජයග්‍රාහී ඉලක්කය ලකුණු 99 කි.