ආරක්‍ෂක ලේකම් සහ වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡා
ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා සහ මෙරට සංචාරයක නිරත වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් ෆාන් වැන් ගියැන්ග් (Phan Van Giang) මහතා ඇතුළු දූත පිරිස අතර විශේෂ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවක් කොළඹ හිල්ටන් හෝටලයේදී පවත්වා තිබේ.
මෙම හමුව සිදුවූයේ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම් සහ එරට ජනාධිපති තෝ ලම් (To Lam) මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරයට සමගාමීවය.
දෙරට අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ කලාපීය ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමු විය.
විශේෂයෙන්ම ආරක්ෂක උපකරණ නඩත්තු සේවා, තොරතුරු හුවමාරුව සහ ආරක්ෂක තාක්ෂණය යන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව පුළුල් කිරීම සඳහා වූ රාමුවක් සකස් කිරීම පිළිබඳව දෙපාර්ශ්වයම එකඟතාව පළ කර ඇත.
ශ්‍රී ලංකාවට වියට්නාම රජයෙන් ලැබෙන අඛණ්ඩ සහයෝගය සහ සහයෝගීතාව සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා මෙහිදී සිය කෘතඥතාව පළ කළේය.
වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ද මෙරට ආරක්ෂක අංශ සමඟ සමීපව කටයුතු කිරීමට ඇති කැපවීම අවධාරණය කළ අතර, ශ්‍රී ලංකාව වර්තමානයේ ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ද සිය සුබ පැතුම් එක් කළේය.
මෙම සාකච්ඡාව සඳහා වියට්නාම ආරක්ෂක අංශයේ ඉහළ පෙළේ නිලධාරීන් වන ලුතිනන් ජෙනරාල් ට්‍රාන් කොං චින් සහ ලුතිනන් ජෙනරාල් වූ තෑන් වැන් ඇතුළු නියෝජිත පිරිසක් මෙන්ම ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද සහභාගී වූහ.
මෙම හමුව හරහා දෙරට අතර සබඳතාව "විස්තීර්ණ හවුල්කාරිත්වයක්" (Comprehensive Partnership) දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය පදනම වැටී තිබේ.