පස් ටිකකට මිනී මරණ සහෝදරකම් අතරේ හීනෙන්වත් නොසිතූ පරිත්‍යාගයක් කර මල්ලිගේ ජීවිතය රැකගත් අක්කා..

Kidney Disease Hospitals in Sri Lanka Latest Headlines
By Sewvandhi Oct 31, 2024 08:29 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පසුගිය 29 වනදා, ‍ ගාල්ල කරාපිටිය මහ රෝහලේ 150 වැනි වකුගඩු බද්ධ කිරීමේ සැත්කම එම රෝහලේ වකුගඩු හා අවයව බද්ධ කිරීමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරි මහතා විසින් සිදුකරනු ලැබීය.

වකුගඩු හා අවයව බද්ධ කිරීමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරි මහතා ,2012 වර්ෂයේ නොවැම්බර් මස 19 වැනි දින ගාල්ල, කරාපිටිය මහ රෝහලේ ප්‍රථම වරට වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් ආරම්භ කරනු ලැබුවේ කරාපිටිය මහ රෝහලට පැමිණීමත් සමඟය.

150 වැනි වරටත් සිදුකළ මෙම වකුගඩු බද්ධ කිරීමේ සැත්කම සඳහා තම පවුලේ වැඩිමහල් සහෝදරිය විසින් තම සහෝදරයාට වකුගඩුව පරිත්‍යාග කොට තිබිණි.

අක්කාගේ වකුගඩුවක් මල්ලීට බද්ධ කරනු ලැබූ අතර මෙම අක්කා සහ මල්ලි කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. සහෝදරිය 53 වන වියේ පසුවන අතර සහෝදරයා 52 වන වියේ පසුවෙයි. වකුගඩු බද්ධ කිරීමේ සැත්කම සඳහා පැය හයක පමණ කාලයක් ගතවී ඇත.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකය තුළ වකුගඩු බද්ධ කිරීමට අමතරව රිය අනතුරු හා විවිධ අනතුරුවලට ලක්වන අයගේ අත් - පා බද්ධ කිර්ම, නහර බද්ධ කිර්ම, අංශභාග රෝගීන්ගේ රුධිරනාල ශුද්ධ කිර්ම ඇතුළු සේවාවන් රැසක් සිදුකෙරේ.

මේ වනවිට විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරි මහතා විසින් නහර බද්ධ කිරීමේ සැත්කම් දහසකට අධික සංඛ්‍යාවක් සිදුකොට ඇත. දැනට මෙම ඒකකය තුළ රෝගීන් වෙනුවෙන් සායන 06ක් පැවැත්වේ.

වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉරේෂා හෙට්ටිආරච්චි හා රජග වීරක්කොඩි වෛද්‍යවරුන් විසින්, 150 වැනි වකුගඩු බද්ධ කිරීමේ සැත්කම සඳහා මෙම අක්කා සහ මල්ලී වෛද්‍ය පරීක්ෂණ පවත්වා ඒ සඳහා යොමුකොට ඇත.

නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ජානක රණවීර, ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරිවරුන් වන වෛද්‍ය රොහාන් ජයවර්ධන, ප්‍රසංග රුවන් පතිරණ, වෛද්‍ය නිලධාරී නන්දිත අනුරංග යන වෛද්‍යවරු සහ ගංගා එරන්දි වෛද්‍යවරියගේ සහයෝගයෙන් සැත්කම සිදුකර තිබේ.

ReeCha