රජයේ රෝහල්වල ඖෂධ නැහැ - හෙට රස්තියාදු වෙන්න එපා.. වෛද්‍ය වෘත්තීකයින් වර්ජනයකට
දිවයින පුරා රෝහල් රැසක මේ වන විට බරපතළ ඖෂධ හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, ප්‍රතිජීවක, වේදනානාශක සහ ඉන්සියුලින් ඇතුළු ඖෂධවල දැඩි හිඟයක් පවතින බවයි.
"බොහෝ ඖෂධවල හිඟයක් රෝහල්වලින් වාර්තා වනවා. පසුගිය අප්‍රේල් මාසය වන විට වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ වර්ග 180කට ආසන්න ප්‍රමාණයක තොග නොතිබුණා. රෝහල්වල ඖෂධ වර්ග 50කට ආසන්න ප්‍රමාණයක තොගද නොමැති වුණා. තත්ත්වය ඊටත් වඩා බරපතළ වෙමින් පවතිනවා. ප්‍රතිජීවක, වේදනානාශක, ඉන්සියුලින්, හෘද රෝග, අධිරුධිර පීඩන ඖෂධ මෙන්ම ශල්‍යකර්ම සඳහා අවශ්‍ය උපකරණවලත් හිඟයක් තියෙනවා. මෙම ගැටලු රෝහල් පද්ධතියේ මෙන්ම ප්‍රාදේශීයවත් දකින්න ලැබෙනවා."
මේ අතර, ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් හෙට (22) දිනයේ දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
ඒ අනුව හෙට උදේ 8ට වර්ජනය ආරම්භ වන අතර, එහි වගකීම සෞඛ්‍ය ඇමති, රාජ්‍ය සේවා කොමිසම සහ රජය භාරගත යුතු බව ඔහු සඳහන් කළේය.
පසුගිය මාස දෙකක පමණ කාලයක් සාකච්ඡාවක් අපේක්ෂාවෙන් සිටියද, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවත් ඔහු පැවසීය.
