වෙඩි තැබීමක් සහ තියුණු ආයුධ වලින් කපා කොටා ගැනීමක්.. පුද්ගලයෙක් මරුට..
දෙහිවල, ඕබර්න් ප්‍රදේශයේ දී ඊයේ (19) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදු ව තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, ඉන් 30 හැවිරිදි පුද්ගලයකු තුවාල ලබා ඇති බවයි පොලීසිය පවසන්නේ.
මේ අතර, තියුණු ආයුධයකින් පහර දීමෙන් පුද්ගලයකු මියගොස් ඇති බව පොලීසිය වාර්තා කරනවා.
ණය මුදලක් ලබාගැනීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුට මෙසේ තියුණු ආයුධයකින් පහර දී ඇති අතර, ඔවුන් හෝමාගම රෝහලට ඇතුළත් කරන අතරවාරයේ එක් පුද්ගලයකු මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
මහරගම, නාවින්න ප්‍රදේශයේ දී ඊයේ (19) උදෑසන කාලයේ දී පහරදීම සිදුකර ඇති බව පොලීසිය පවසයි. මියගොස් ඇත්තේ, 58 හැවිරිදි තලගල, කිරිවන්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, මරණකරු විසින් නාවින්න ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට ණය මුදලක් ලබා දී තිබුණු බව සඳහන්.
මරණකරු, එම ණය මුදල ලබාගැනීම සඳහා තවත් පුද්ගලයකු සමඟ ත්‍රිරෝද රථයකින් ණය හිමියාගේ නිවසට ගොස් ඇති බවයි පැවසෙන්නේ.
දෙදෙනා පැමිණ ණය හිමියාගේ නිවසේ වසා තිබූ ගේට්ටුවට ගසමින් එය විවෘත කිරීමට උත්සාහ කර ඇති අතර, එම අවස්ථාවේ දී ණය මුදල ලබාගත් නිවසේ හිමිකරු විසින් තියුණු ආයුධයක් රැගෙනවිත් පුද්ගලයන් දෙදෙනාට පහර දී තුවාල සිදුකර ඇත.
පසුව තුවාලකරුවන් දෙදෙනා ඔවුන් පැමිණි ත්‍රිරෝද රථයෙන්ම හෝමාගම රෝහලට ගොස් තිබේ.
මරණකරු විසින් සැකකරු හට ලබාදුන් ණය මුදල ලබාගැනීමට පැමිණි අවස්ථාවේ දී මෙම පහරදීම සිදුව ඇති බව පොලීසිය විසින් සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත.
ඝාතනය සිදුකළ 60 හැවිරිදි සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් සිටිය දී හෝකන්දර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
