සුනඛයෙකුට සහ උසස් පෙළ පාසල් සිසුවෙකුට නිවසට පැමිණ පොලීසිය වෙඩි තබයි..සුනඛයා මියයයි..(PHOTOS)
ගම්පොළ පන්විලතැන්න නිවසකදී පොලිස් වෙඩි තැබීමකින් තුවාල ලැබූ 18 හැවිරිදි පාසල් සිසුවකු ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන පුවතක් වාර්තා වනවා.
මෙම වෙඩි තැබීමෙන් නිවසේ සිටි රොට්වයලර් වර්ගයේ සුනඛයකු මියගොස් ඇති අතර නිවසේ වහලය ඇතුළු ස්ථාන කිහිපයකම වෙඩි පහරවල් දකින්නට ලැබේ.
ගම්පොල කොට්ඨාසයේ වැඩබලන පොලිස් අධිකාරි රොෂාන් අමරසිංහ මහතා යටතේ ක්‍රියාත්මක කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් ඊයේ (21දා) අලුයම 5.45ට පමණ මෙම නිවස පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදු කර තිබෙන බවයි පැවසෙන්නේ.
මෙහිදී තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂක ලක්මාල් හා සැරයන් ඒකනායක යන දෙදෙනා ද රෝහල් ගත කර තිබේ.
ඔවුන් බල්ලාගේ සපාකෑමට ලක්ව ඇතැයි පොලිසිය කියයි.
මෙම නිවසේ නීති විරෝධී මත්පැන් ඇති බවට ලද තොරතුරකට වැටලීම සිදුකර ඇති අතර එහිදී සුනඛයා සපා කෑම නිසා මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය පවසන අතර නිවසේ හිමිකරු වන චමින්ද අබයරත්න යන අය සිද්ධිය මෙසේ විස්තර කළා.
“අපේ ගෙදර බල්ලා උදේ පහ හමාරට විතර කූඩුවෙන් එළියට දානවා. 5.45ට විතර තුවක්කු රැගත් පස් හය දෙනෙක් එක්වරම ගේ පිටිපස්ස බැම්මෙන් මිදුලට පැන්නා.
එතකොට බල්ලා ඔවුන් හපන්න පැන්නා. මගේ මස්සිනා වන ටිරෝෂ සහ මගේ පුතා එතන හිටියා.
පුතා පාසල් යනවා. එයා උසස් පෙළ කරන්නේ. පොලිසිය එකවරම වෙඩි තිබ්බා පුතාටයි බල්ලාටයි වෙඩි වැදුණා. ගෙදර වහලටත් මේ අය වෙඩි තිබ්බා.
පස්සේ පුතාට මේ අය මාංචු දාලා ගබඩා කාමරේට එක්ක ගියා. එයා විනාඩි 45ක් විතර ඒක ඇතුළේ තියා ගත්තා.
ඒ අය පුතා රෝහලට අරන් ගියේ නෑ. අපට අරන් යන්න දුන්නෙත් නෑ. බල්ලත් මැරුණා. පස්සේ පොලිසිය යන්න ගියා.
අපි පුතා පන්විලතැන්න රෝහලට අරන් ගියා. එතනින් එයා ගම්පොල රෝහලට මාරු කළා” වෙඩි තැබීමේ සිද්ධිය පරික්ෂා කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරි එච්. එම්. හේරත් මහතා යටතේ පුපුරැස්ස පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මනෝරංජන, උප පොලිස් පරීක්ෂක චමින්ද සේනාරත්න ඇතුළු කණ්ඩායමක් පත්කර ඇත.
ගම්පොල කොට්ඨාස ස්ථානීය අපරාධ පරීක්ෂණ ඒකකයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක බන්දුල, පොලිස් පරීක්ෂක මෙන්ඩිස්, පොලිස් සැරයන්වරුන් වන (20190) නිලන්ත, (21002) බන්දුල යන නිලධාරීන් යටතේ තවත් පරීක්ෂණයක් සිදු කරයි.
මෙම සිද්ධිය සමග පන්විලතැන්න ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබෙන බවටයි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |


