විමල්ගේ බිරිඳ ශෂී වීරවංශට සිර දඬුවම් හිමි වූයේ ඇයි..? නඩුවේ සියලු විස්තර මෙන්න ..
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් අද නියම කළේය. ඒ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගත් බවට වන චෝදනාවට වරදකාරිනිය කරමිනි.
අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ජාතික හැඳුනුම්පතක් සකස් කොට ඒ හරහා අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම තුළින් ආගමන සහ විගමන පනත යටතේ වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් යහපාලන රජය සමයේ ශෂී වීරවංශ මහත්මියට එරෙහිව මෙම නඩුව ගොනු කළේය.
ඇය විසින් සකස් කර තිබූ ජාතික හැඳුනුම්පතේ නිවැරදි නොවන උපන් දිනයක් යොදා තිබූ බවට චෝදනා ගොනු කර තිබුණි. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ පූර්වගාමී ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා විසින් අද (27) මෙම නඩුවේ නියෝගය ප්‍රකාශයට පත්කළේ සිය නිල මැදිරිය තුළදීය.
අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් විත්තිකාරිය සිය සන්තකයේ තබාගෙන සිටි බවට නඩු විභාගයේ දී කරුණු තහවුරුවූ බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පූර්වගාමී මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය. විත්තිකාරියට මෙම ක්‍රියාව සිදු කිරීම සඳහා ආගමන හා විගමන පාලකවරයාගේ සහාය ලැබී ඇති බව නඩු විභාගයේ දී කරුණු අනාවරණය වූ බවත් විත්තිකාරියට එල්ලවී තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවත් මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
විත්තිකාරියට දඬුවම් ප්‍රකාශකිරීමට මත්තෙන් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ දේශපාලනඥයෙකුගේ බිරිඳක් වශයෙන් විත්තිකාරිය සිය නිල බලය සහ තනතුරු බලය භාවිත කරමින් සිදුකර තිබෙන මෙම ක්‍රියාව අනුමත කළ නොහැකි බවය.
විත්තිකාරිය මෙම රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා අයදුම්පත ඉදිරිපත් කර තිබෙන්නේ එක් දින සේවය යටතේ වන බවත් එය ලබාගැනීම සඳහා ඇය අදාළ කවුළුව හමුවට පවා ඉදිරිපත්වී නොමැති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.
ඒ අනුව රාජ්‍ය නිලධාරීන්ගෙන් සහාය ඇතිව ඇය එය කෙටි මාර්ගයකින් ලබාගැනීමට කටයුතු කර ඇති අතර අමාත්‍යවරයකුගේ බිරිඳක් වශයෙන් සිය නිල හා තනතුරු බලය අවභාවිත කළ විත්තිකාරිය සම්බන්ධයෙන් සමාජයට ආදර්ශයක් විය හැකි තීන්දුවක් ලබාදෙන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
එහෙත් රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා ඉදිරිපත් කළ කරුණු ප්‍රතික්ෂේප කරන බව විත්තිකාර ශෂී වීරවංශ මහත්මිය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ සඳහන් කළේය. විත්තිකාරිය සන්තකයේ තිබූ ගමන් බලපත්‍රය අවිධිමත් එකක් නොවන බවට ආගමන සහ විගමන පාලකවරයා පවා නඩු විභාගයේදි සාක්ෂි දෙමින් පිළිගෙන තිබූ බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගෙන දඩුවම සම්බන්ධයෙන් ලිහිල් අයුරින් කටයුතු කරන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය. දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා තීන්දුව ප්‍රකාශයට පත්කරමින් පැවසුවේ චෝදනාවට වරදකරු බවත් ඒ අනුව උදයන්ති රණසිංහ නොහොත් ශෂී වීරවංශ මහත්මියට වසර දෙකක බරපතළ වැඩසහිත සිර දඬුවම් නියම කරන බවය.
ඊට අමතරව රුපියල් ලක්ෂයක දඩයක් ද නියමකළ මහෙස්ත්‍රාත්වරයා එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් අමතරව මාස හයක සිර දඬුවම් නියම කරන බවත් නියෝග කළේය. කෙසේ වෙතත් මෙම තීන්දුවට එරෙහිව ශෂී වීරවංශ මහත්මියගේ නීතිඥවරු විසින් කොළඹ මහාධිකරණයට භාරදීම සඳහා අභියාචනයක් අද දහවල් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
සිර දඬුවම් නියමවී සිටින ශෂී වීරවංශ මහත්මිය එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති හෙයින් ඇය ඇප මත මුදාහරින ලෙස ඇයගේ නීතිඥවරුන් ඒ අනුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙම ඇප ඉල්ලීම අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතගේ නිල මැදිරිය තුළ දී කැඳවනු ලැබූ අතර එහිදී මහෙස්ත්‍රාත්වරයා නියම කර ඇත්තේ අදාළ ඇප ඉල්ලීම ලබන 30වනදා සලකා බලන බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |
