බොලිවුඩය කැළඹෙයි 'විමල් එලයිචි' ඇඩ් එක හින්දා ෂාරුක්, අජේ සහ ටයිගර් අමාරුවේ - පෝස්ට් ඔක්කොම ඩිලීට් කරන්නැයි FDA එකෙන් නියෝග

Report

මහාරාෂ්ට්‍ර ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) විසින් නළු ෂාරුක් ඛාන්, අජේ දේව්ගන් සහ ටයිගර් ෂ්රොෆ් වෙත පිටු නවයකින් යුත් හේතු දැක්වීමේ දැන්වීමක් නිකුත් කර තිබේ.

ඒ, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ තහනම් කර ඇති පෑන් මසාලා නිෂ්පාදනයක් වක්‍රව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙනි. ටුකාරම් මුණ්ඩේගේ නායකත්වයෙන් යුත් FDA ආයතනයේ මෙම පියවරට හේතු වී ඇත්තේ නළු තිදෙනා 2024දී පෑන් මසාලා සමාගමක් වන Vimal සඳහා ‘Vimal Elaichi’ ප්‍රවර්ධන දැන්වීමකට පෙනී සිටීමයි.

දැන්වීමේදී භාවිත කර ඇති ‘Vimal Elaichi’ යන නාමය පෑන් මසාලා නිෂ්පාදනය සමඟ පාරිභෝගිකයන් තුළ සෘජු හෝ වක්‍ර සම්බන්ධයක් ඇති කළ හැකි බව FDA පෙන්වා දී තිබේ. එවැනි ප්‍රචාරණයක් පාරිභෝගිකයන් නොමඟ යැවීමටත්, මහාරාෂ්ට්‍රයේ තහනම් කර ඇති නිෂ්පාදනයක වෙළඳ නාම අනන්‍යතාවය වක්‍රව ප්‍රවර්ධනය කිරීමටත් හේතු විය හැකි බව එම දැන්වීමේ සඳහන් වේ.

එබැවින් අදාළ ප්‍රචාරණ ව්‍යාපාරයට සහභාගී වීම නතර කරන ලෙසත්, දැන්වීම සම්බන්ධ සියලුම ප්‍රවර්ධන අන්තර්ගතයන් ඔවුන්ගේ නිල සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඉවත් කරන ලෙසත් FDA නළු තිදෙනාගෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම, ඔවුන්ගේ අනුමත කිරීමේ ගිවිසුම්වල සම්පූර්ණ පිටපත්, ප්‍රචාරණ කෙටුම්පත්, ගෙවීම් සම්බන්ධ තොරතුරු සහ අදාළ නිෂ්පාදනය පිළිබඳව සිදු කළ නිසි පරීක්ෂා කිරීම්වල සාක්ෂි ඉදිරිපත් කරන ලෙසද FDA ඉල්ලා ඇත.

මහාරාෂ්ට්‍රයේ පෑන් මසාලා ඇතුළු තහනම් දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන නිෂ්පාදනය, ගබඩා කිරීම, ප්‍රවාහනය, බෙදාහැරීම සහ අලෙවිය සම්බන්ධයෙන් පවතින නීති සහ මහජන සෞඛ්‍ය රෙගුලාසිද FDA විසින් සිය දැන්වීමේදී අවධාරණය කර තිබේ.

පාරිභෝගික ආරක්ෂණ නීති යටතේ නොමඟ යවන සුළු වෙළඳ ප්‍රචාරණ හෝ අනුමත කිරීම් සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ 10 සිට ලක්ෂ 50 දක්වා දඩ මුදල් පැනවිය හැකි අතර, අදාළ අනුමත කරන්නන්ට නිශ්චිත කාලයක් සඳහා නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම තහනම් කිරීමටද හැකි බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් මීට පෙරද බොලිවුඩ් නළු අක්ෂේ කුමාර් දැඩි විවේචනයට ලක්ව තිබුණි. 2022දී ෂාරුක් ඛාන් සහ අජේ දේව්ගන් සමඟ ‘Vimal Elaichi’ දැන්වීමකට පෙනී සිටීමෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ ඇති වූ විවේචන හමුවේ කුමාර් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කළේ තමන් දුම්කොළ නිෂ්පාදන අනුමත නොකරන බවත්, අදාළ වෙළඳ නාමය සමඟ ඇති සම්බන්ධතාවය සම්බන්ධයෙන් රසිකයන්ගේ හැඟීම්වලට ගරු කරන බවත්ය. තම අනුමත කිරීමේ ගාස්තුව පුණ්‍ය කටයුත්තක් සඳහා පරිත්‍යාග කරන බවද ඔහු සඳහන් කර තිබුණි.

GalleryGalleryGallery