අතරමග නතර වූ සෙත්සිරිපාය 3 වන අදියරේ වැඩ යළි ඇරඹෙයි- මහල් 25ක මහා සංකීර්ණය මාස 30න් ඉවර කරන්න සැලසුම්
ආර්ථික අර්බුදය හේතුවෙන් අතරමග නතර කර තිබූ බත්තරමුල්ල සෙත්සිරිපාය කාර්යාල සංකීර්ණයේ තුන්වන අදියරේ ඉදිකිරීම්, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ යළි ආරම්භ කර තිබේ.
ඒ අනුව, ව්‍යාපෘතියේ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමේ උත්සවය ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ සහභාගීත්වයෙන් අද (28) පැවැත්විණි.
2019 වසරේදී ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය බහු අර්බුදකාරී තත්ත්වයන් හේතුවෙන් අත්හිටුවීමට සිදුව තිබූ අතර, මේ වන විට එහි ඉදිකිරීම් කටයුතු යළි ක්‍රියාත්මක කර තිබේ.
සෙත්සිරිපාය III අදියර මහල් 25කින් සමන්විත වන අතර, එහි සමස්ත බිම් ප්‍රමාණය වර්ග අඩි 1,395,439කි.
රුපියල් බිලියන 33.02ක ඇස්තමේන්තුගත වියදමකින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය, විදුලිබල අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ඖෂධ සංස්ථාව සමඟ එක්ව ක්‍රියාත්මක කිරීමට නියමිතය. නවීන කාර්යාල පහසුකම්, සම්මන්ත්‍රණ ශාලා, රාජ්‍ය සේවා මධ්‍යස්ථාන, වාණිජ අවකාශ සහ වාහන නැවැත්වීමේ පහසුකම් ඇතුළත් වන පරිදි මෙම කාර්යාල සංකීර්ණය සැලසුම් කර තිබේ.
මෙම පහසුකම් හරහා රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ. පරිපාලන කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම, රාජ්‍ය සේවය නවීකරණය කිරීම සහ ජාතික ආර්ථික වර්ධනයට දායක වීම අරමුණු කරගනිමින්, ව්‍යාපෘතිය මාස 30ක් ඇතුළත නිම කිරීමට බලධාරීන් සැලසුම් කර ඇත.
කොළඹ කොටුව ඇතුළු නගරයේ විවිධ ප්‍රදේශවල පිහිටි රාජ්‍ය කාර්යාල බත්තරමුල්ල සහ ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයට ගෙන යාමේ රජයේ වැඩපිළිවෙළේ කොටසක් ලෙසද මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
කොළඹ වාණිජ කටයුතු සඳහා වැඩි වශයෙන් වෙන්කරමින් පරිපාලන සේවා ක්‍රමානුකූලව බත්තරමුල්ලේ ශ්‍රී ජයවර්ධනපුර කලාපයට ගෙන යාමේ වැඩපිළිවෙළ යටතේ රාජ්‍ය ආයතන රැසක් මේ වන විටත් එම ප්‍රදේශයට ස්ථානගත කර තිබේ.