කොළඹ ජාතික රෝහලේ ප්‍රශ්න ගොඩයි, රෝගීන් දැඩි අසීරුතාවයක
කොළඹ ජාතික රෝහලේ උගුර, කන, නාසය සායනයේ සියයට 60ක වෛද්‍ය හිඟයක් පැවැතීම නිසා උගුර, කන, නාසය පිළිබඳ රෝගාබාධවලින් පෙළෙන රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇත.
ඒ අනුව රෝගීන් පරීක්ෂා කිරීම, ප්‍රතිකාර ලබාදීම හා වෛද්‍ය වාර්තා ලබාදීම බරපතළ අර්බුදයකට ලක්ව තිබෙන බව රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය හෙළි කරයි.
තවද මෙම සායනයට අනුයුක්තව විශේෂඥ වෛද්‍යවරු තිදෙනෙක් සිටියි.
නමුත් එක් විශේෂඥ වෛද්‍යවරයෙක් විශ්‍රාම යාමත් සමග මෙම අර්බුදය හටගෙන තිබෙන බව සදහන් වේ.
වෛද්‍යවරු සදහන් කරන්නේ ඒ සඳහා වැඩ බැලීමට වෛද්‍යවරයෙක් යොමුකර ඇතත් වෛද්‍ය ප්‍රතිකාර කටයුතු සියයට හැටකින්ම නතරව තිබෙන බවයි .
එම සායනයේ වෛද්‍යවරු සදහන් කරන්නේ මීට අමතරව එම සායනය තුළ සිටිය යුතු ශ්‍රේණි වෛද්‍යවරුන්ද ප්‍රමාණවත් නැති බවයි .
සායනයට පැමිණෙන රෝගීන්ට සති කිහිපයක් තිස්සේ රස්තියාදු වී ප්‍රතිකාර ලබා නොගෙන ආපසු හැරී යාමට සිදුව ඇති බවත් වාර්තා වේ.
මෙලෙස දැනට ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ වෛද්‍යවරු සියයට 60ක් නොමැති බව කියමින් ඊයේ (20) දැන්වීමක් ප්‍රදර්ශනය කර තිබෙන අයුරු දක්නට ඇත.
වෙනත් රෝහලක සිටින උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් ඉක්මනින් මෙම සායනය වෙත යොමු කිරීමට නියමිතව තිබෙන බව මේ සම්බන්ධයෙන් රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් කළ විමසීමේදී විශේෂඥ වෛද්‍යවරයෙක් සදහන් කර තිබේ .
එම වෛද්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ හිඟය පිළිබඳ කිසිවක් කීමට නොහැකි බවයි.