පාසල් ළමයින්ගේ බෑග් බරට අගමැතිනියගෙන් විසඳුමක්- 2027 සිට 6 වසරට අලුත්ම මොඩියුල ක්‍රමයක්

Report

ශ්‍රී ලංකාවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් සිසුන්ගේ බෑග්වල බර සැලකිය යුතු ලෙස අඩු කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

පාර්ලිමේන්තුවේදී පාසල් බෑග්වල බර අඩු කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දෙන ක්‍රියාකාරකම් පාදක ඉගෙනුම් ක්‍රමය මගින් සිසුන්ට නිවස සහ පාසල අතර රැගෙන යාමට සිදුවන පොත්පත් ප්‍රමාණය අඩු වන බවයි.

ඒ අනුව, පන්ති කාමර ක්‍රියාකාරකම් සඳහා භාවිත කරන පොත් පාසල තුළ තබා ගැනීමට කටයුතු කෙරෙන අතර, ඒවා දිනපතා නිවසට රැගෙන යාමට සිසුන්ට අවශ්‍ය නොවනු ඇත.

සිසුන්ගේ අදාළ වැඩකටයුතු අවසන් වූ පසු, එම පොත් වාරය අවසානයේදී පමණක් නිවසට රැගෙන යාමට අවස්ථාව සැලසෙන බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය. තවද, 2027 වසරේ සිට 6 ශ්‍රේණිය සඳහා මොඩියුල පාදක ඉගෙනුම් ක්‍රමයක් හඳුන්වා දීමට නියමිත බව ඇය පැවසුවාය.

මෙම ක්‍රමය යටතේ විශාල පෙළපොත් වෙනුවට, එක් එක් පාසල් වාරයට අදාළව විෂයයන් සඳහා සකස් කළ මොඩියුල සිසුන් වෙත ලබා දීමට නියමිතය. මෙම නව ක්‍රමවේද හඳුන්වාදීම තුළින් දරුවන් දිනපතා රැගෙන යන පාසල් බෑග්වල බර සැලකිය යුතු ලෙස අඩු කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් පැවසුවාය.

හිටපු ජනපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ හදිසි බයිපාස් හෘද සැත්කමකට

හිටපු ජනපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ හදිසි බයිපාස් හෘද සැත්කමකට