'දිට්වා' පුර්ව හානි අවම කිරීමේ රජයේ ක්‍රියාමාර්ග ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් විභාගයක්
"දිට්වා" සුළි කුණාටුවෙන් සිදුවූ හානි අවම කිරීම සඳහා රජය ප්‍රමාණවත් පූර්ව සැලසුම් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ඔක්තෝබර් 30 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
මහනුවර ප්‍රදේශයේ නීතිඥවරයෙකු විසින් ගොනු කර ඇති මෙම පෙත්සම ජනක් ද සිල්වා සහ අචල වෙන්ගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ අද කැඳවූ අතර, ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කර ඇත.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් නම් කර ඇති බව සඳහන් වේ.
පෙත්සම්කරු පෙන්වා දෙන්නේ "දිට්වා" සුළි කුණාටු තත්ත්වයක් ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කල්තියා අනතුරු ඇඟවීම් නිකුත් කර තිබියදීත්, ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ හානි අවම කිරීම සඳහා රජය නිසි පූර්ව සැලසුම් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූ බවයි.
එම බිඳවැටීම හේතුවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙසත්, අනාගතයේ මෙවැනි ස්වාභාවික ආපදා තත්ත්වයන් සඳහා වඩාත් කාර්යක්ෂමව මුහුණ දීම වෙනුවෙන් අවශ්‍ය මාර්ගෝපදේශ මාලාවක් රජයට නිකුත් කරන ලෙසත් පෙත්සම මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.