''මක්කමට ප්‍රහාරයක අවදානමක් ගැන අනතුරු ඇඟවීමක්'' - සෞදි සිවිල් ආරක්ෂක අංශයෙන් හෙළිදරව්වක්
සෞදි අරාබියේ ශුද්ධ නගරයක් වන මක්කම සම්බන්ධයෙන් ‘විභව අවදානමක්’ පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. සෞදි සිවිල් ආරක්ෂක අංශය විසින් අද (24) මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති අතර, මිසයිල තර්ජනයක් වැනි අවදානමක් ඇතිවිය හැකි අවස්ථාවලදී මෙවැනි අනතුරු ඇඟවීම් නිකුත් කරන බව වාර්තා වේ.
සෞදි ජාතික පූර්ව අනතුරු ඇඟවීමේ වේදිකාව මගින් මක්කම නගරයේ ජනතාවට විභව අවදානමක් පිළිබඳ දැනුම්දීමක් සිදුකර ඇති බව සිවිල් ආරක්ෂක අංශය සිය නිල X ගිණුම ඔස්සේ සඳහන් කර තිබේ.
ඉස්ලාම් ආගමේ ශුද්ධතම ස්ථානය පිහිටි මක්කම සම්බන්ධයෙන් දින 10කටත් අඩු කාලයක් තුළ මෙවැනි අනතුරු ඇඟවීමක් නිකුත් කළ දෙවන අවස්ථාව මෙය බව සඳහන් වේ.
මේ අතර සෞදි අරාබියේ බටහිර වෙරළ ආශ්‍රිත තවත් ප්‍රදේශ කිහිපයක් සඳහාද වෙන වෙනම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ අනුව රතු මුහුද ආශ්‍රිත යන්බු ප්‍රදේශය මෙන්ම තායිෆ්, ජෙඩා සහ ටබුක් යන ප්‍රදේශද එම අනතුරු ඇඟවීම්වලට ඇතුළත් වේ.
කෙසේ වෙතත්, මෙම අනතුරු ඇඟවීමට අදාළ නිශ්චිත තර්ජනයක් හෝ එහි මූලාශ්‍රය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු එම අවස්ථාවේදී අනාවරණය කර නොතිබුණි.