Open AI කාර්යාලයේ සැකකටයුතු උපාංගයක් සවි කළ සෞදි ජාතිකයාට සිදුවූ දේ

Report

OpenAI සමාගමේ සැන් ෆ්‍රැන්සිස්කෝ කාර්යාලයක රහසිගතව හඬ පටිගත කිරීමේ උපකරණයක් සවි කළ බවට චෝදනා එල්ල වූ සෞදි ජාතික සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ උපකරණය පසුගිය මාසයේ අගභාගයේදී සමාගමේ ආරක්ෂක කණ්ඩායම විසින් සොයාගෙන ඇති අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් FBI ආයතනයට දැනුම් දී තිබේ.

අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවට අනුව, අබ්දුල්රහ්මාන් අල්ෆොසාන් නමැති 35 හැවිරිදි සේවකයා ඔක්තෝබර් 9 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.

2025 ජූලි මාසයේ සිට OpenAI සමාගමේ ඉංජිනේරුවෙකු ලෙස සේවය කර ඇති ඔහු, USB උපාංගයක් වැසිකිළි කඩදාසිවලින් ඔතා සමාගමේ විධායක සම්මන්ත්‍රණ කාමරයක රූපවාහිනියක් තුළ සඟවා තැබූ බවට චෝදනා එල්ල වී තිබේ.

අධිකරණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයට අනුව, අදාළ සම්මන්ත්‍රණ කාමරය අසල ඔහු අවස්ථා කිහිපයකදී සිටින ආකාරය ආරක්ෂක කැමරා දර්ශනවල සටහන් වී ඇත.

එමෙන්ම, එම කාමරයේ පැවැත්වෙන රැස්වීම්වලට සහභාගි වීමට ඔහුට අවසර නොතිබූ බව ද සඳහන් වේ.

OpenAI කාර්යාල ගොඩනැගිලි, රැස්වීම් කාමර, දින දර්ශන, කාලසටහන් සහ පුද්ගලයන් සිටින ස්ථාන පිළිබඳ වැඩිදුර තොරතුරු සෙවීම සඳහා ඔහු ඵලදායිතාව ඉහළ නැංවීමේ මෙවලමක් භාවිත කර ඇති බවට ද චෝදනා එල්ල වී තිබේ.

එමෙන්ම, අල්ෆොසාන්ගේ බිරිඳට සම්බන්ධ චැට්බොට් ගිණුමක දුරස්ථව හඬ පටිගත කිරීම සහ මතක කාඩ්පත් සංකේතනය කිරීම පිළිබඳ විමසුම් තිබූ බව ද අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

ගිනිගෙන විනාශ වූ BMW රථයට වසර 14කට පසු විශාල වන්දියක් - රක්ෂණ සමාගම සමඟ දිගු සටනක්

ගිනිගෙන විනාශ වූ BMW රථයට වසර 14කට පසු විශාල වන්දියක් - රක්ෂණ සමාගම සමඟ දිගු සටනක්

තවත් උපකරණයක් සොයා ගනී

අල්ෆොසාන්ට අයත් බව කියන, අවධානයට ලක් නොවූ බෑගයක් පරීක්ෂා කිරීමේදී තවත් උපකරණයක් සොයාගත් බව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත්, සඟවා තිබූ පටිගත කිරීමේ උපකරණයෙන් කිසියම් තොරතුරක් ලබාගෙන තිබේද යන්න මෙතෙක් පැහැදිලි වී නොමැත.

OpenAI සමාගම AFP පුවත් සේවයට ප්‍රකාශ කර ඇත්තේ, අදාළ පුද්ගලයා සමාගමේ AI මාදිලිවල අභ්‍යන්තර පරාමිතීන් (model weights), මූලාශ්‍ර කේත (source code) හෝ පාරිභෝගික දත්ත අනිසි ලෙස ලබාගත් බවට මේ වන විට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

වසර පහක සිරදඬුවමක් සහ දඩයක් නියම විය හැකියි

අනවසරයෙන් වාචික සන්නිවේදනයට සවන් දීම සඳහා ඉලෙක්ට්‍රොනික, යාන්ත්‍රික හෝ වෙනත් උපකරණයක් භාවිත කිරීම හෝ එසේ කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අල්ෆොසාන්ට චෝදනා ගොනු කර ඇති බව අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම චෝදනාවට වරදකරු වුවහොත් ඔහුට වසර පහක් දක්වා සිරදඬුවමක් සහ අමෙරිකානු ඩොලර් 250,000ක දඩයක් නියම විය හැකිය. ඔහු ඔක්තෝබර් 19 වැනිදා ෆෙඩරල් අධිකරණයක් හමුවේ පෙනී සිටීමට නියමිතය.

මෙම සිද්ධිය කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ ප්‍රමුඛත්වය ලබාගැනීම සඳහා ලෝක බලවතුන් අතර පවතින තරගකාරීත්වය මධ්‍යයේ වාර්තා වී තිබේ.

කෙසේ වෙතත්, අල්ෆොසාන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවක් ලබා දී නොමැති අතර, ඔහුට හෝ සෞදි අරාබියට ඔත්තු බැලීමේ චෝදනාවක් එල්ල කළ බව ද අධිකරණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයේ සඳහන් නොවේ.

ගිනිගෙන විනාශ වූ BMW රථයට වසර 14කට පසු විශාල වන්දියක් - රක්ෂණ සමාගම සමඟ දිගු සටනක්

ගිනිගෙන විනාශ වූ BMW රථයට වසර 14කට පසු විශාල වන්දියක් - රක්ෂණ සමාගම සමඟ දිගු සටනක්