අධිකරණය විධායකයේ අතකොළුවක් කිරීමට ජනවරමක් ලැබී නැහැ - සජිත් ප්‍රේමදාස

Report

අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ වත්මන් රජයට ජනවරම ලැබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා මිස, අධිකරණය විධායකයේ අතකොළුවක් බවට පත් කිරීම සඳහා නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ අද (30) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

රටේ දේශපාලන ක්‍රමයේ වෙනසක් ඇති කර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වත්මන් රජයට ජනවරමක් ලබාදුන් බව සඳහන් කළ විපක්ෂ නායකවරයා, එම ජනවරමට පටහැනිව රට තුළ ඒකාධිපති හා තනි පක්ෂ පාලනයක් ස්ථාපිත කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට චෝදනා කළේය.

ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික කුළුණක් වන අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල කරමින් එය දුර්වල කිරීමට වත්මන් රජය කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

අධිකරණයේ ස්වාධීනත්වයට හානි සිදුකරමින් ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බවත්, එවැනි ක්‍රියාමාර්ග රටේ නීතියේ ආධිපත්‍යයට බරපතළ බලපෑමක් එල්ල කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.