''මම භාවනා කරමින් සීතා මෑණියන්ට යාච්ඤා කළා'' - සීතා මෑණියන්ගේ චරිතය රඟපෑම ආශීර්වාදයක් බව සායි පල්ලවි කියයි
නිතේෂ් තිවාරි අධ්‍යක්ෂණය කරන Ramayana චිත්‍රපටයේ සීතා මෑණියන්ගේ චරිතයට පණ පොවන ඉන්දීය රංගන ශිල්පිනී සායි පල්ලවි, එම චරිතය රඟපෑම තමන් ලැබූ ආශීර්වාදයක් බව සඳහන් කර තිබේ.
නවදිල්ලියේ පැවති චිත්‍රපටයේ Pratham Sankalp විශේෂ වැඩසටහනට එක්වෙමින් ඇය සඳහන් කළේ, සීතා චරිතය වෙනත් චරිත මෙන් සරලව සූදානම් වී රඟ දැක්විය හැකි එකක් නොවන බවයි.
සීතා මෑණියන් වැනි ගෞරවනීය චරිතයක් නිරූපණය කිරීම පහසු කාර්යයක් නොවන බවත්, එවැනි චරිතයක් සාර්ථක කර ගැනීමට කණ්ඩායමක් සිය උපරිම කැපවීමෙන් කටයුතු කළ යුතු බවත් සායි පල්ලවි පැවසුවාය. තමන් මෙම චරිතය තෝරාගත් බවට නොසිතන බවත්, එය තමන්ට ලැබුණු ආශීර්වාදයක් ලෙස සලකන බවත් ඇය සඳහන් කළාය. “මෙය සැලසුම් කර ලබාගත හැකි චරිතයක් නොවේ. මම භාවනා කරමින් සීතා මෑණියන්ට යාච්ඤා කළා. මා තුළින් චරිතයට අවශ්‍ය දේ ඉදිරිපත් වීමට ඉඩ ලබා දුන්නා” යනුවෙන් ඇය පැවසුවාය.
එමෙන්ම රූගත කිරීම් අතරතුරදී මානසිකව සන්සුන්ව සහ ධනාත්මකව සිටීමට තමන් උත්සාහ කළ බවද සායි පල්ලවි සඳහන් කළාය. එවැනි ගෞරවනීය චරිතයක් නිරූපණය කිරීමේදී තම සිතුවිලි පිරිසිදුව තබා ගැනීම වැදගත් වූ බවද ඇය පවසා තිබේ.
චිත්‍රපටයේ අධ්‍යක්ෂ නිතේෂ් තිවාරි ද සායි පල්ලවිගේ රංගනය අගය කරමින්, සීතා චරිතය තිරයට ගෙන ඒම සඳහා ඇය කළ කැපවීම පිළිබඳ ප්‍රශංසා කළේය. Ramayana චිත්‍රපටය කොටස් දෙකකින් තිරගත කිරීමට නියමිත අතර, එහි පළමු කොටස 2026 දීපාවලි සමයේදීත්, දෙවන කොටස 2027 දීපාවලි සමයේදීත් ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
මෙම චිත්‍රපටයේ රාම් ලෙස රන්බීර් කපූර්, ලක්ෂ්මණ ලෙස රවී ඩුබේ, රාවණ ලෙස යෂ් සහ හනුමාන් ලෙස සනී ඩියෝල් රංගනයෙන් එක්වෙති. එමෙන්ම රකුල් ප්‍රීත් සිං, ලාරා දත්තා සහ කාජල් අගර්වාල් ඇතුළු රංගන ශිල්පීන්ද මෙයට එක්ව සිටිති.