පොලිස්පතිවරයාට තර්ජනය කළැයි කියන සාගර කාරියවසම්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය ආයතනවලටත් නියෝගයක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් විසින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය සහ ඒ තුළින් පොලිස්පතිවරයාට තර්ජනයක් සිදු කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින්, මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය මඟින් අද (06) දින කඩුවෙල අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.
එහිදී මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි කමල් ආරියවංශ අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බැවින් ඒ වෙනුවෙන් අවශ්‍ය අවසරය ලබා දෙන ලෙසයි.
එබැවින් කඩුවෙල ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස විසින් අදාළ විමර්ශන කටයුතුවලට අවසරය ලබා දෙන ලදි.
තවද අඳාළ සිද්ධිය වාර්තා කළ මාධ්‍ය නාලිකාවලට අඳාළ ප්‍රකාශය සම්බන්ධයෙන් සංස්කරණය නොකළ දර්ශන තැටි ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසද පොලිසිය ඉල්ලා ඇත.
එයට අවසර ලබා දුන් මහේස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශනවල ප්‍රගතිය එළඹෙන සැප්තැම්බර් මස 24 වැනි දින අධිකරණයට දැනුම් දෙන ලෙස නියෝග කර ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කර තිබුණේ, වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ආණ්ඩුවට සේවය කිරීම නවතා රජයට සහ ජනතාවට සේවය කළ යුතු බවත්, මහපාරේ මිනිස්සුන්ගෙන් ගුටි කෑම නිසා මියගිය 37 වන පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය ඉතිහාසගත වනවාට තමන් අකැමැති බවත් ය.
එම ප්‍රකාශය හරහා පොලිස්පතිවරයාට තර්ජනයක් සිදු කර ඇති බවට පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත.