රුමේෂ් ලෝක ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානයට
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයට අතිශය අභිමානවත් නව රන් පිටුවක් එකතු කරමින්, ලෝක මලල ක්‍රීඩා සංගමය අද 17 වැනිදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද නවතම හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල ලොව 02 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුපිරි මලල ක්‍රීඩක රුමේෂ් තරංග සමත්ව තිබේ.
ජාත්‍යන්තර මලල ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාව ඉතා ඉහළටම ඔසවා තැබූ රුමේෂ් තරංග මීට පෙර පසුවූයේ මෙම ලෝක ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ 03 වැනි ස්ථානයේය.
ඊයේ 16 වැනිදා චෙක් ජනරජයේදී ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැති සුප්‍රසිද්ධ ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් ජාත්‍යන්තර මලල ක්‍රීඩා ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් විශිෂ්ට අන්දමින් ප්‍රථම ස්ථානය දිනා ගනිමින් මව්බිමට අතිදැවැන්ත ජාත්‍යන්තර කීර්තියක් අත්කරදීමට රුමේෂ් තරංග සමත් විය.
එම සුවිශේෂී ජයග්‍රහණයත් සමඟ ඔහුගේ සමස්ත ලෝක ශ්‍රේණිගත කිරීම් ලකුණු ප්‍රමාණය 1333 ක් දක්වා ඉතා ඉහළ මට්ටමකට වර්ධනය විය.
පෙර පැවැති ලෝක ශ්‍රේණිගත කිරීම්වලදී රුමේෂ් තරංග පසුවූයේ එවකට ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ රැඳී සිටි ග්‍රෙනඩා රාජ්‍යයේ සුපිරි ක්‍රීඩක ඇන්ඩර්සන් පීටර්ස් ලබා සිටි ලකුණු 1326 ට වඩා ලකුණු 2 ක ඉතා සුළු පරතරයකින් පසුපසිනි.
නමුත් ඊයේ චෙක් ජනරජයේදී ලැබූ අතිවිශිෂ්ට ජයග්‍රහණයත් සමග ඇන්ඩර්සන් පීටර්ස් සතු කරගෙන සිටි ලකුණු මට්ටම සම්පූර්ණයෙන්ම අභිබවා යමින් ලෝකයේ දෙවැනි ස්ථානය තමන් සතු කරගැනීමට මෙම දක්ෂ ශ්‍රී ලාංකික ක්‍රීඩකයාට හැකිවිය.
හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය තවදුරටත් ලකුණු 1360 ක් ලබා සිටින ජර්මානු ජාතික සුපිරි ක්‍රීඩක ජූලියන් වෙබර් විසින් හිමිකරගෙන සිටියි.