ලොවම සලිත කළ සිදුවීමක් - 16 හැවිරිදි දැරියකට අතවර කළ බවට සැක රොබෝ යන්ත්රයක් පොලිස් භාරයට
ජර්මනියේ කොලෝන් නගරයේදී 16 හැවිරිදි දැරියකට අතවරයක් සිදුකළ බවට සැක කෙරෙන රොබෝ යන්ත්රයක් පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම රොබෝ යන්ත්රයේ හිමිකරු වන 16 හැවිරිදි තරුණයා සහ 19 හැවිරිදි තවත් පුද්ගලයෙකුට එරෙහිව පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන්.
ඒ අනුව පොලිසිය සඳහන් කර ඇත්තේ, රතු සහ රන්වන් පැහැයෙන් යුත් සෙන්ටිමීටර් 120ක් පමණ උස මෙම රොබෝ යන්ත්රය, මිතුරන් පිරිසක් සමඟ සිටි දැරියක් පිටුපසින් පැමිණ ඇගේ පිටුපස ප්රදේශය ස්පර්ශ කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙන බවයි.
එසේම රොබෝ යන්ත්රය දැරියගේ සිරුරට එරෙහිව ලිංගික අර්ථයක් ගම්ය වන ආකාරයේ චලනයන් සිදුකර තිබෙන බවත්, එහිදී දැරිය කෑගසා ඉන් ඉවත් වී ඇති බවත්, පොලිසිය පවසන බවට විදෙස් මාධ්ය වාර්තා කරයි.
එමෙන්ම අදාළ සිදුවීම සමාජ මාධ්ය ඔස්සේ සජීවීව විකාශය කරමින් සැකකරුවන් ඒ පිළිබඳ අදහස් දක්වා ඇති බවට ද පොලිසිය සැක පළ කරයි.
කෙසේ වෙතත් සිද්ධිය පිළිබඳ තොරතුරු ලැබීමෙන් පසු ක්රියාත්මක වූ හදිසි සේවා නිලධාරීන්, මඳ වේලාවකට පසු ඒ ආසන්නයේ සිටි සැකකරුවන් දෙදෙනා සොයාගෙන ඇති අතර රොබෝ යන්ත්රය මෝටර් රථයක පිටුපස තිබියදී සොයාගෙන එය පොලිස් භාරයට ගෙන ඇත.
එමෙන්ම සැකකරුවන් සතු ජංගම දුරකථන දෙකක් ද පොලිසිය භාරයට ගෙන තිබෙන අතර, සිදුවීම සිදුවන විටදී රොබෝ යන්ත්රයේ චලනයන් හිතාමතා පාලනය කළේද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙන බව වැඩිදුරටත් සඳහන්.