මද්‍යසාර සහ දුම්වැටි භාවිතය හා බදු ඉහළ නැංවීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

Sri Lanka Excise Department of Sri Lanka
By Piyumika Jan 14, 2025 06:29 AM GMT
Piyumika

Piyumika

Report

2023 වසරේ මද්‍යසාර බදු 20% කින් වැඩි වීම නිසා මද්‍යසාර පරිභෝජනය ලීටර මිලියන 8.3 කින් අඩු වී රජයේ මද්‍යසාර සුරාබදු ආදායම රුපියල් බිලියන 11.6 කින් වැඩි වී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එමෙන්ම දුම්වැටිවලින් රජය ලබා ගන්නා සුරාබදු ආදායම බිලියන 7.7කින් වැඩි වී දුම්වැටි අලෙවිය මිලියන 521.5කින් අඩු වී ඇති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මද්‍යසාර සහ දුම්වැටි භාවිතය හා බදු ඉහළ නැංවීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර තිබේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

- උපුටා ගැනීම -

මද්‍යසාර හා දුම්වැටි යනු සාමාන්‍ය පාරිභෝගික භාණ්ඩ නොවන අතර ඒවායේ මිල සෑම විටම එම භාණ්ඩ මිල දී ගැනීම අඩාල කරන මට්ටමක පවත්වා ගෙන යා යුතු වේ.

මද්‍යසාර භාවිතය නිසා ශ්‍රී ලංකාවේ වසරකට පුද්ගලයන් 15,000කට ආසන්න ප්‍රමාණයක් අකාලයේ මරණයට පත්වන අතර දුම්වැටි භාවිතය වසරකට පුද්ගලයන් 20,000කට ආසන්න ප්‍රමාණයක් මරණයට පත් කරයි.

එමෙන්ම තවත් විශාල ප්‍රමාණයක් රෝගීන් බවට පත්කරන අතර මද්‍යසාර සහ දුම්වැටි පුද්ගලයන්ගේ සතුට සහ නිදහස සීමා කරන ප්‍රධාන සාධකය බවට පත් වී තිබේ.

වාර්ෂිකව දුම්කොළ සහ මද්‍යසාර සමාගම්, තම අහිමි වන පාරි‌‌භෝගිකයන් වෙනුවට අපේ රටේ දරුවන් මද්‍යසාර සහ දුම්වැටිවලට යොමු කරගැනීමට විවිධ උපක්‍රම ක්‍රියාත්මක කරයි.

අප රටේ බෝ නොවන රෝගවලින් සිදුවන මරණ ප්‍රමාණය 80% දක්වා මේ වන විට වැඩි වී තිබේ. බෝ නොවන රෝගවලට බලපාන ප්‍රධාන සාධක 4න් 2ක් වන්නේ දුම්වැටි සහ මද්‍යසාර භාවිතයයි.

එක්සත් ජනපද ෆෙඩරල් රජයේ මහජන සෞඛ්‍ය සේවා ප්‍රධානියා (Surgeon General) මේ වසර ආරම්භයේ දී විශේෂ වාර්තාවක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ මද්‍යසාර පිළිකා කාරකයක් බැවින් සුළු ප්‍රමාණයකින් හෝ මද්‍යසාර භාවිතා කළද එය පුද්ගලයන්ගේ පිළිකා අවදානම වැඩි කරන බවයි.

ඒ අනුව මද්‍යසාර යනු පිළිකා කාරකයක් බව තහවුරු කර තිබේ. එබැවින් මද්‍යසාර බෝතල්වල මද්‍යසාර පිළිකා කාරකයක් බව සඳහන් කළ යුතු බව ඔහු විසින් ඇමරිකානු රජයට නිර්දේශ කර ඇත. මද්‍යසාර සහ දුම්වැටි භාවිතයෙන් ඇතිවන හානිය අවම කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් යෝජනා කරන ඵලදායී ප්‍රතිපත්ති අතර “Increasing excise taxes” ප්‍රමුඛ වේ.

ඒ අනුව 2025 ජනවාරි මාසයේ සිදුවූ සුරාබදු වැඩිවීමද රටට වාසිදායක තත්ත්වයකි. සුරාබදු රටක සංවර්ධනය සඳහා යොදා ගත හැකි, යන අදහස යල්පැන ගිය අදහසකි. මද්‍යසාර නිසා සිදු වන සෞඛ්‍ය සහ ආර්ථික පිරිවැය, මද්‍යසාරවලින් ලැබෙන බදු ප්‍රමාණය, අවම වශයෙන් මද්‍යසාර නිසා සිදුවන ආර්ථික සහ සෞඛ්‍ය පිරිවැය පියවා ගැනීමට සමත් වී නොමැති බව සංඛ්‍යා ලේඛනවලින් පෙන්වා දෙයි.

2022 වසරේ UNDP ආයතනය සිදුකළ අධ්‍යනයකට අනුව මද්‍යසාර නිසා සිදු වූ ආර්ථික සහ සෞඛ්‍ය පිරිවැය රුපියල් බිලියන 237ක් වන අතර එම වසරේ මද්‍යසාර බදු ආදායම රුපියල් බිලියන 165.2 වේ. තවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ මද්‍යසාර පාලනය සඳහා පවතින නිර්දේශවල සඳහන් වන්නේද ප්‍රමාණාත්මක ලෙස මද්‍යසාර බදු ඉහළ දැමීම රජයට අඩු වියදමින් කළ හැකි ඉතා ඵලදායි මද්‍යසාර පාලන ක්‍රියාමාර්ගයක් ලෙසයි.

ඒ බව අපේ රටේ මෑතක සිදු වූ සුරාබදු ඉහළ දැමීම තුළින් ද පෙනී ගොස් ඇත. 2023 වසරේ මද්‍යසාර බදු 20% කින් වැඩි වීම නිසා මද්‍යසාර පරිභෝජනය (ශුද්ධ මද්‍යසාර) ලීටර මිලියන 8.3 කින් අඩු වී රජයේ මද්‍යසාර සුරාබදු ආදායම රුපියල් බිලියන 11.6 කින් වැඩි වී ඇත.

එමෙන්ම සිගරට්වලින් රජය ලබා ගන්නා සුරාබදු ආදායම බිලියන 7.7 කින් වැඩි වී සිගරට් අලෙවිය මිලියන 521.5 කින් අඩු විය. එමඟින් රාජ්‍ය සුරාබදු ආදායම වැඩි වන අතර භාවිතය ද අඩුවේ. එමගින් සෞඛ්‍ය, ආර්ථික හා සමාජීය ගැටලු ගණනාවකට ධනාත්මකව බලපෑමක් ඇති වේ. එම නිසා සුරාබදු වැඩි කිරීම රටට සෑම අතින්ම වාසි සහගත තත්ත්වයකි.

තවද මද්‍යසාර මිල වැඩි වෙන සෑම විටම මද්‍යසාර සමාගම් විසින් නීති විරෝධී මද්‍යසාර වැඩි වන බවට මතයක් ගොඩ නැගීමට උත්සාහ දරයි.

මෙම උත්සාහය, නීත්‍යානුකූල මද්‍යසාරවල බදු වැඩි වීමෙන් ඔවුන්ගේ නිෂ්පාදනවල අලෙවිය පහත වැටෙන බැවින් අනාගතයේ සිදුවීමට ඇති බදු වැඩි කිරීම් වළක්වා ගැනීමට හා දැනටමත් ඇති සුරා බදු ප්‍රමාණයන් අඩු කර ගැනීම සඳහා යොදා ගන්නා උපක්‍රමයකි.

නීත්‍යානුකූල හෝ නීත්‍යානුකූල නොවන හෝ මද්‍යසාරවලින් සිදුවන හානිය එකිනෙකට වෙනස් නොවන අතර මේ සියලු මද්‍යසාර වර්ග සෞඛ්‍යයට දැඩි බලපෑමක් ඇති කරයි.

එම නිසා රජය නීත්‍යානුකූල නොවන මද්‍යසාර පාලනයට, කාර්යක්ෂම ලෙස නීතිය ක්‍රියාත්මක කරමින් නීති විරෝධී මද්‍යසාර පාලනය කිරීම සහ නීත්‍යානුකූල මද්‍යසාර භාවිතය අවම කිරීම සඳහා සුරාබදු වැඩි කීරීමත්, මද්‍යසාර ලබා ගැනීමේ ඇති පහසුව අවම කීරීමටත්, දරුවන් සහ තරුණයන් මද්‍යසාර භාවිතයට යොමු කරන උපක්‍රම වැළැක්වීමට කටයුතු කීරීමත් සඳහා විධිමත් වැඩපිළිවෙලක් සැකසිය යුතුය.

තවද සුරාබදු වැඩි කිරීමේදී එය විද්‍යාත්මක බදු ක්‍රමවේදයක් තුළින් සිදුවිය යුතුය. 2009 වන තුරු සිගරට් සඳහා සුරාබදු අයකිරීමේදී සම්පූර්ණ වාසිය හෝ එහි වැඩි වාසියක් අත්පත් කර ගත්තේ රජයයි. 2009ට පෙර සුරාබදු තීරණය කිරීමේදී වෙළඳපොළ, ඉල්ලුම, උද්ධමනය සහ මිල නම්‍යතාවය සලකා බලා උපරිම බදු වැඩි වීමක් සිදුකර ඇත.

එම නිසා දුම්කොළ සමාගමට බදු මත මිලක් තබා ගැනීමේ අවස්ථාව අවම කර ඇත. එමගින් රජයට ලබාගත හැකි උපරිම බදු ප්‍රමාණයක් ලබා ගෙන ඇති අතර බහුජාතික සමාගම් පොහොසත් කිරීමක් සිදුකර නැත. මෙසේ දුම්කොළ සමාගමේ ලාභය වැඩි වීම, ඔවුන්ගේ ප්‍රචාරණයට සහ විවිධ මැදිහත් වීම්වලට විශාල අමතර ලාභයක් ලැබෙන බැවින් එයින් දරුවන් සහ තරුණයන් දුම්කොළ සමාගමේ ගොදුරු බවට පත් කරගැනීමේ අවස්ථා වර්ධනය කරයි.

මෙම තත්ත්වය අවම කිරීමට වසර ගණනාවක සිට හඬ නැගුවද මෙවර බදු වැඩි වීමේත් වැඩි වාසිය දුම්කොළ සමාගම ලබා ගෙන ඇත. වෙළඳපොළ තුළ වැඩිම අලෙවියක් ඇති සිගරට් කණ්ඩයේ සුරාබදු වැඩී වී තිබෙන්නේ රුපියල් 4.51 කිනි. නමුත් එහි මිල රුපියල් 10 කින් වැඩි වී ඇත.

නිවැරදි බදු අයකිරීමේ ක්‍රමවේදයක් තවමත් ස්ථාපිත කර නොමැති නිසා මෙවර සිගරට් බදු වැඩි කිරීමෙන්ද සිගරට් කර්මාන්තය වාසිය අත්කර ගෙන ඇත. මෙම බදු වැඩි කිරීම තුළින් ආසන්න වශයෙන් සිගරට් කර්මාන්තය ලබා ගන්නා අමතර ලාභය රුපියල් මිලයන 7000කට අධික ය.

කෙසේ වෙතත් දැනට සිදුවී ඇති තත්ත්වය අනුව පැවසීමට ඇත්තේ කවුරු බලයට ආවත් හැමදාම දින්නේ දුම්කොළ සහ මද්‍යසාර සමාගම් බවයි.

එබැවින් ජනතා හිතවාදී ආණ්ඩු විසින් කළ යුත්තේ දුම්කොළ සහ මද්‍යසාර සමාගම් වල ආදායම් තර කිරීම නොව මහජනතාව සතුටෙන් සහ සෞඛ්‍යමත්ව තබා ගන්නා සෞඛ්‍යමත්, ආර්ථික තීරණ වලට එළැඹීමයි.

ඒ සඳහා ක්‍රමවත් සුරාබදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරමින් ජනතාව ආරක්ෂා කර ගැනීම ජනතා හිතවාදී ආණ්ඩුවක වගකීමයි.

- උපුටාගැනීම අවසන් - 

You may like this video

ReeCha