අතීත චෝදනා සහ ස්වාධීනත්වය පිළිබඳ ගැටලු මතුවෙයි- ලාංකික සොල්දාදුවන් 900කගේ හයිටි ගමන අත්හිටුවන්නැයි බලපෑම්

By Kanchana Jun 26, 2026 05:23 AM GMT
Report

ශ්‍රී ලංකාවෙන් හයිටියට සොල්දාදුවන් 900ක් සහ පොලිස් නිලධාරීන් 140ක් පමණ යෙදවීමට සැලසුම් කර ඇති පසුබිමක, එම යෙදවීම වහාම අත්හිටුවන ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් සහ වින්දිතයින්ගේ සංවිධාන 14ක් ඉල්ලීමක් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය, හයිටි රජය සහ හයිටියේ කල්ලි මර්දන මෙහෙයුම (GSF) භාර ස්ථාවර කමිටුව වෙත යොමු කළ ඒකාබද්ධ ප්‍රකාශයකින් ඔවුන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවෙන් යොදවන පිරිස් මානව හිමිකම් උල්ලංඝන චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන හා විශ්වාසදායක පරීක්ෂණයකට ලක් නොවන බවයි.

සංවිධාන පවසන්නේ, දැනට ක්‍රියාත්මක පරීක්ෂණ ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා හමුදාව සහ පොලීසිය විසින් සපයන තොරතුරු මත පදනම් වන අතර, එය ස්වාධීන මානව හිමිකම් පරීක්ෂණයක් ලෙස සැලකිය නොහැකි බවයි.

කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය මගින් සිදුකරන අතිරේක පරීක්ෂාවද ප්‍රමාණවත් නොවන බව ඔවුන්ගේ මතය වී තිබේ.

රජයේ රෝහලක උපදින හැම දරුවෙකුටම රන් මුදුවක් - තලපති විජේ දුන් පොරොන්දුව දින 43න් ඉටු කරයි

රජයේ රෝහලක උපදින හැම දරුවෙකුටම රන් මුදුවක් - තලපති විජේ දුන් පොරොන්දුව දින 43න් ඉටු කරයි

එම ප්‍රකාශයෙන් 2004 සිට 2007 දක්වා හයිටියේ රාජකාරි කළ ශ්‍රී ලාංකික සාම සාධක භටයන්ට එරෙහිව එල්ල වූ ළමුන් ලිංගික සූරාකෑම සහ අපයෝජනය සම්බන්ධ චෝදනාද යළි අවධානයට ලක් කර ඇත.

එම සිද්ධීන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විමර්ශනවලින් බරපතළ කරුණු අනාවරණය වූ බවත්, ඒවා සම්බන්ධයෙන් ප්‍රමාණවත් වගවීමක් සිදු වී නොමැති බවත් සංවිධාන පෙන්වා දෙයි.

තවද, නව යෙදවීම සම්බන්ධීකරණයට සම්බන්ධ බවට වාර්තා වන ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලාංකික ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු පිළිබඳවද සංවිධාන කනස්සල්ල පළ කර ඇති අතර, මෙය පුද්ගලික චෝදනාවක් නොව ස්වාධීනත්වය සහ විශ්වාසනීයභාවය සම්බන්ධ ගැටලුවක් බව ඔවුන් අවධාරණය කරයි.

එම සංවිධාන ඉල්ලා සිටින්නේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ (OHCHR) සහභාගීත්වයෙන් ස්වාධීන පරීක්ෂණ යාන්ත්‍රණයක් ස්ථාපිත කරන තෙක් මෙම යෙදවීම අත්හිටුවන ලෙසයි.

එමෙන්ම, අතීත චෝදනා සම්බන්ධයෙන් වගවීම තහවුරු කිරීම, වින්දිතයින්ට සාධාරණය ඉටු කිරීම සහ එක්සත් ජාතීන්ගේ වධහිංසාවට එරෙහි කමිටුව මතු කළ කරුණු සඳහා ප්‍රතිචාර ලබාදෙන ලෙසද ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ.