සේවක අයිතීන් වෙනුවෙන් ගෙනා අලුත් නීතිය..!

By Sewvandhi Aug 26, 2024 08:35 AM GMT
Report

ඔස්ට්‍රේලියාවේ අද (26) සිට ක්‍රියාත්මක වන පරිදි "right to disconnect" "විසන්ධි කිරීමේ අයිතිය" යන නීතිය හඳුන්වා දී තිබේ. එම නව නීතිය තුළින් සේවකයින්ට රාජකාරි වෙලාවෙන් පසු රැකියාවට අදාළ කෙටි පණිවුඩ, දුරකථන ඇමතුම් සහ ඊමේල් පණිවුඩ නොසලකා හැරීමට සහ ප්‍රතිචාර නොදක්වා සිටීමට ඉඩ ප්‍රස්ථාව හිමිව ඇත.

ඒ සඳහා ආයතන ප්‍රධානීන්ට කිසිදු දඬුවමක් කළ නොහැකි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඔස්ට්‍රේලියානු රජය සඳහන් කර ඇත්තේ, සේවකයින්ට සිය පෞද්ගලික ජීවිතයට රැකියාවෙන් සිදුවන හානිය වළක්වාගැනීම සඳහා මෙම නීතිය හඳුන්වා දුන් බවය.

මෙම නව නීතිය කඩවීමක් සිදුවුවහොත් ඒ සඳහා වරදකරු වන ආයතන ප්‍රධානියෙකුට හෝ සමාගමකට ඔස්ට්‍රේලියානු ඩොලර් 93,900ක් දක්වා දඩයකට යටත්වීමට සිදුවන බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

ඔස්ට්‍රේලියාවට අමතරව මීට පෙර සිටම තවත් යුරෝපයේ රටවල් 20ක පමණ මෙම නීතිය අනුගමනය කරන බවද වාර්තා වේ.

COVID-19 වසංගතයෙන් පසු ඩිජිටල් සන්නිවේදනය සහ දුරස්ථව වැඩකිරීම වර්ධනය වීම මධ්‍යයේ මිනිසුන්ගේ වෘත්තීය සහ පුද්ගලික ජීවිත අතර සීමාවන් බිඳ දමා ඇති බව ඔස්ට්‍රේලියානු රජය පෙන්වා දී තිබේ.

පසුගිය වසරේ ප්‍රකාශයට පත් කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ, ඔස්ට්‍රේලියානුවන් වාර්ෂිකව සාමාන්‍යයෙන් පැය 281ක් පමණ අමතර කාලයක් කිසිදු ගෙවීමකින් තොරව රාජකාරි සිදුකර ඇති බවය.