ජවිපෙ–වියට්නාම් සබඳතා ශක්තිමත් වෙයි
වියට්නාම් සමාජවාදී ජනරජයේ තානාපති ට්‍රින් ති ටම් මහත්මිය සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අතර හමුවක් ඊයේ (18) ජවිපෙ මූලස්ථානයේදී පැවැත්විණි.
මෙම හමුවේ ප්‍රධාන අරමුණ වූයේ, 2026 ජනවාරි 20 සිට 23 දක්වා හැනෝයිහි පැවති වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14 වන ජාතික සම්මේලනයෙන් පැන නැගුණු තීරණ, අනාගත ක්‍රියාමාර්ග සහ ඒවායේ වැදගත්කම පිළිබඳව ජවිපෙ දැනුවත් කිරීමයි.
තානාපතිවරිය මෙහිදී සම්මේලනයේ වැදගත්කම පැහැදිලි කළ අතර, එහිදී වියට්නාම් කොමියුනිස්ට් පක්ෂය හා රට 2026–2030 කාලය සඳහා ඉලක්ක තබා ඇති බවත්, 2035 සහ 2045 සඳහා දිගුකාලීන ඉලක්ක දෙකක් පිළිගෙන ඇති බවත් සඳහන් කළාය.
වර්තමාන මැදපෙරදිග ගැටුම් සහ ගෝලීය අර්බුදයන්ට මුහුණ දීම සඳහා වියට්නාමය හා ශ්‍රී ලංකාව සූදානම් වන ආකාරය පිළිබඳව ද එහිදී අදහස් හුවමාරු කර ගන්නා ලදී. හමුවේදී ටිල්වින් සිල්වා මහතා, සම්මේලනයේදී මහලේකම් ධුරයට නැවත පත් කරන ලද ටෝ ලැම් මහතාටත්, අලුතින් පත් වූ මධ්‍යම කාරක සභාවටත් සුබ පැතුම් එක් කරමින්, ඔවුන්ගේ අනාගත කටයුතු සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කළේය.
ජවිපෙ නියෝජනය කරමින් මධ්‍යම කාරක සභික හා මාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස, අන්තර් සමාගම් සේවක සංගමයේ මහලේකම් ජනක අදිකාරි සහ ජවිපෙ ජාත්‍යන්තර කමිටු සාමාජික කල්පනා මධුභාෂිනි යන මහත්මියන් සහභාගී වූහ.
වියට්නාම් සමාජවාදී ජනරජය නියෝජනය කරමින් නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී ලී වැන් හුවොං,පළමු ලේකම් නුයෙන් වැන් බින් සහ තානාපතිවරියගේ ලේකම් රම්‍යා නිලංගානි යන අය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. මෙම හමුව දෙපාර්ශ්වය අතර සමාජවාදී හා වාමාංශික පක්ෂ අතර සම්බන්ධතා ශක්තිමත් කිරීමේ කොටසක් ලෙස සැලකේ.