කුරුඳු මිල අහස උසට - මැයි මාසයේ තැබූ වාර්තාව මෙන්න!
ශ්‍රී ලංකාව මැයි මාසයේදී ඉතිහාසයේ ඉහළම කුරුඳු මිල වාර්තා කර ඇති අතර, ඇල්බා ශ්‍රේණියේ කුරුඳු කිලෝග්‍රෑමයක මිල රුපියල් 7,000 දක්වා ඉහළ ගොස් ඇති බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ජනක ලින්දාර මහතා සඳහන් කළේ, වාර්තාගත මිල ගණන් හමුවේ මෙම වසරේ කුරුඳු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 300 දක්වා ඉහළ නැංවීම ඉලක්ක කරගෙන කටයුතු කරන බවයි.
ඔහු පෙන්වා දුන්නේ, 2025 වසරේදී ශ්‍රී ලංකාවේ කුරුඳු සහ කුරුඳු ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් බිලියන 80කට ආසන්න, එනම් ඇමෙරිකානු ඩොලර් මිලියන 260ක පමණ ආදායමක් උපයා ඇති අතර, එය කුරුඳු කර්මාන්තයේ ඉතිහාසයේ වාර්තා වූ ඉහළම වාර්ෂික අපනයන ආදායම බවයි.
තවද, මෙම වසරේ මුල් මාස පහ තුළ කුරුඳු අපනයන ආදායම පසුගිය වසරේ අනුරූප කාලසීමාවට සාපේක්ෂව රුපියල් මිලියන 27කින් ඉහළ ගොස් ඇති අතර, එය කුරුඳු කර්මාන්තයේ අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරන බවද අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.