ඊශ්‍රායලයෙන් පිටවීමට අවශ්‍ය පහසුකම් සූදානම් - ලාංකිකයන්ට කියයි
ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට ඕනෑම අවස්ථාවක එරටින් පිටවීමට පහසුකම් සැලසීමට සූදානම් බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.
ඔහු පැවසුවේ, ඊයේ (19) දිනයේදී පමණක් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනෙකු ශ්‍රී ලංකාව බලා පිටත්වීමට පහසුකම් සලසා ඇති බවත්, ඊශ්‍රායලයේ නිවාඩු දින වන අද (20) සහ හෙට (21) තානාපති කාර්යාලය විවෘතව තබා ඇති බවත්ය.
"ශ්‍රී ලංකාවේ සිටින ජනතාව අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ. යුද්ධය ආරම්භ වූ ජූනි 14 වැනිදා සිට යම් පුද්ගලයෙකුගේ වීසා කාලය ඉකුත්වී ඇත්නම්, ජාත්‍යන්තර ගුවන් ගමන් යළි ආරම්භ වූ පසු ගුවන් සමාගම්වලට ඒ බව දැනුම් දෙන බව අපට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව, වීසා කාලය ඉකුත් වුවද, රටට ඇතුළුවීමට අවසර ලබාදීමට ගුවන් ටිකට්පත් නිකුත් කිරීමට උපදෙස් දී තිබෙනවා. එමනිසා, ඔවුන්ට නැවත පැමිණීමේ හැකියාව තිබෙනවා.
ඊයේ දිනයේ ශ්‍රී ලාංකිකයන් සිව්දෙනෙක් තානාපති කාර්යාලයට පැමිණ, ශ්‍රී ලංකාවට ආපසු යාමට අවශ්‍ය බව පැවසුවා. ඒ අනුව, අපි කයිරෝ හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනුම් දුන්නා. දේශසීමා හරහා යාමට අවසර ලබාදෙන ලෙස අපි ඉල්ලා ඇති අතර, ඉදිරි දිනවලදී තවත් ශ්‍රී ලාංකිකයන් මෙලෙස ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන බව මම විශ්වාස කරනවා.
ඔවුන් සියලුදෙනාට තානාපති ලෙස සහාය වීමට මම කැමැත්තෙන් ඉන්නවා. ඊශ්‍රායලයේ අද සහ හෙට නිවාඩු දින වුවත්, මෙවැනි පුද්ගලයන්ට සහාය වීම සඳහා තානාපති කාර්යාලය විවෘතව තබා තිබෙනවා."
