කුඩු අංජුගෙන් බේරෙන්න කංජිපානි ළඟට ගිය "රත්මලානේ සයිමා" රහස් රැසක් වමාරයි
මැලේසියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සාමාජිකයකු බව කියන ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් "රත්මලානේ සයිමා" නමැත්තා, අපරාධකරුවකු වන කංජිපානි ඉම්රාන්ගේ මූල්‍ය කටයුතු සහ සමාජ මාධ්‍ය මෙහෙයුම් භාරව කටයුතු කර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
එමෙන්ම, කෙහෙල්බද්දර පද්මේ නමැත්තාට මැලේසියාවේ සැඟවී සිටීමට අවශ්‍ය පහසුකම් සැලසීමටද සයිමා නමැත්තා කටයුතු කර ඇති බව විමර්ශනවලදී හෙළිව ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමක් මැලේසියානු පොලිසිය සමඟ එක්ව පසුගියදා සිදුකළ විශේෂ මෙහෙයුමකදී රත්මලානේ සයිමා ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, කංජිපානි ඉම්රාන්ගේ මූල්‍ය කටයුතු රැසක් සයිමා නමැත්තා විසින් මෙහෙයවා ඇති බවයි. එමෙන්ම කංජිපානි ඉම්රාන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් හා සම්බන්ධ කටයුතුද ඔහු විසින් සිදුකර ඇති බවත්, ඔහුගේ හඬපට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සඳහා කටයුතු කර ඇති බවත් පොලිස් විමර්ශනවලදී හෙළිව තිබේ.
පසුගිය වසරේදී කෙහෙල්බද්දර පද්මේ නමැත්තාට මැලේසියාවේ රැඳී සිටීමට කංජිපානි ඉම්රාන්ගේ උපදෙස් මත සයිමා පහසුකම් සලසා ඇති බවටද තොරතුරු අනාවරණ වී ඇත.
පොලිසිය සඳහන් කරන්නේ, සයිමා නමැත්තා මීට පෙර ප්‍රංශයේ සැඟවී සිටින බව කියන "කුඩු අංජු" නමැත්තාගේ සමීපතමයකු ලෙස කටයුතු කර ඇති බවයි. පසුව ඔහු කංජිපානි ඉම්රාන් සමඟ එක්ව කටයුතු කර ඇති බවද සඳහන් වේ.
කුඩු අංජු විසින් සයිමා නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවට කංජිපානි ඉම්රාන් විසින් ඔහුට දැනුම් දීමෙන් අනතුරුව, ඔහු කංජිපානි සමඟ සමීපව කටයුතු කර ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
සයිමා නමැත්තා මීට වසර 10කට පමණ පෙර මැලේසියාවට පලාගොස් ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.