ඇත්ත කතා කරන කටවල් වහන්න බැහැ.. චාමර සම්පත් නිවැරදියි.. ගිණුමෙන් මුදල් ඉවත් කළේ මගේ උපදෙස් මතයි - රනිල් කට අරී

Ranil Wickremesinghe Sri Lanka Government Current Political Scenario MP Chamara Sampath Dassanayake
By Shehan Apr 10, 2025 09:18 AM GMT
Shehan

Shehan

Report

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරයි.

"චාමර සම්පත් මන්ත්‍රීතුමාගේ පවුලේ සාමාජිකයන් මා හමුවුණා. මම අගමැති ලෙස සිටි සමයේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ මගේ අනුමැතිය ඇතිව භාණ්ඩාගාර ලේකම්තුමා විසින් චක්‍රලේඛනයක් නිකුත් කළා. එම චක්‍රලේඛනයෙන් පළාත් සභා මුදල් තැන්පත් ගිණුම්වල තැබීමට නොහැකි බව සඳහන් වුණා. රජයේ මුදල් මෙන්ම වෙනත් මුදල් එම වසර තුළ වියදම් කිරීමට සිදු වෙනවා. එසේ නොකළහොත් ඒ මුදල් මුදල් අමාත්‍යාංශයට හෝ පළාත් සභාවේ මුදල් අමාත්‍යාංශයට ආපසු ලබාදිය යුතුයි. එම මුදල් ඉතිරි කර තැන්පත් ගිණුම්වල තබා පසුව වෙනත් ව්‍යාපෘති සඳහා යෙදවීම නීති විරෝධී බැවින් අපි එම පියවර ගත්තා. එම අවස්ථාවේ චාමර සම්පත් මහ ඇමතිතුමා ඇතුළු තවත් මහ ඇමතිවරුන් කිහිප දෙනෙක් මා සමඟ සාකච්ඡා කළා. එය කළ නොහැක්කේ මන්දැයි මම ඔවුන්ට පැහැදිලි කළා. ඒ අනුව ඔවුන් එම මුදල් තැන්පත් ගිණුම්වලින් ඉවත් කළා."

"මෙය ඌව පළාතේ පමණක් නොව, අනෙකුත් පළාත්වලත් සිදු වුණා. චාමර සම්පත් ඇමතිතුමා මට වරින් වර කතා කළා. අධ්‍යාපන ඇතුළු විවිධ කටයුතුවලට මම උදව් කළා. නමුත් එකල අපි දෙපැත්තක සිටියා. චාමර සම්පත් මහ ඇමති ලෙස සිටි සමයේ වත්මන් ඇමති සමන්ත විද්‍යා රත්න මහතා පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මෙය මගේ කාර්යයක් නොවන බවත්, එය අල්ලස් කොමිසම සමඟ සාකච්ඡා කරන ලෙසත් මම එම පිරිසට දැනුම් දුන්නා. මහ ඇමතිවරුන්ට පක්ෂව හෝ විරුද්ධව වැඩකටයුතුවලට මට මැදිහත් විය නොහැකි බවත් මම පැවසුවා."

"කොමිසම විසින් මේ සම්බන්ධයෙන් විභාගයක් පවත්වා තිබෙනවා. එහෙත් එතුමා කිසිඳු විභාගයකින් වැරදිකරුවෙකු ලෙස ඔප්පු වී නැහැ. ඔහු සැකකරුවෙකු ලෙසවත් නම් කරලා නැහැ. මේ විභාග ගෙන යන්නේ එම කරුණු මතයි. නව චෝදනා හෝ නව සිද්ධීන් ගැන නොවෙයි. තවත් කාරණයක් වන්නේ චාමර සම්පත් මහතා කට උත්තර ලබාදෙන අවස්ථාවේදීම ඔහු අත්අඩංගුවට ගත් බවට ප්‍රකාශ නිකුත් වීමයි. එවැනි දෙයක් කිව හැක්කේ කෙසේද?"

"චාමර සම්පත් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ නිතර කතා කරනවා. ඔහු විපක්ෂයේ හඬ බලවත්ව නගනවා. මෙම ක්‍රියාවලිය ඔහුගේ පාර්ලිමේන්තු මැදිහත්වීමට සම්බන්ධද යන්න ගැන විශාල ප්‍රශ්නයක් තිබෙනවා. මම හිතනවා ඔහු මේ ගැන පාර්ලිමේන්තුවෙන් විභාගයක් ඉල්ලිය යුතුයි. එය පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනයක්ද යන්න සොයා බැලිය යුතුයි."  

ReeCha