රඛිත චරිත් ඇතුළු තිදෙනා අධිකරණයට රැගෙන එයි
හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක ලෙස කටයුතු කළ චරිත් අබේසිංහ හා සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ යන තිදෙනා අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් පසුගියදා අත්අඩංගුවට ගත් එම සැකකරුවන් තිදෙනා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ නමැත්තා රැඳවුම් නියෝග මත පසුවන ස්ථානයෙන් වෙනස් කර රක්ෂිත බන්ධනාගාරගත කිරීම සඳහා රුපියල් කෝටි 12ක අල්ලස් ලබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
පසුව අද(03) දින දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කර තිබුණා. එසේම මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් අල්ලස් කොමිසමට නියෝග කර ඇත්තේ අද දින විමර්ශනවල ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.