මහජන උපයෝගිතා කොමිසමෙන් විදුලිබල මණ්ඩලයට රතු නියෝග, සෑම දිනකටම රුපියල් 500,000ක අමතර දඩයක්
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL), ලංකා විදුලිබල මණ්ඩලයට (CEB) විරුද්ධව බලාත්මක කිරීමේ නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වී තිබෙනවා.
ඒ අනුව විදුලිබල මණ්ඩලය තම තාප බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට අදාළව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සහ ලංකා ගල් අඟුරු සමාගම (පුද්ගලික) සමඟ ඉන්ධන සැපයුම් ගිවිසුම් (FSA) අත්සන් කිරීමට නීත්‍යානුකූලව බැඳී සිටිනු ඇති බව වාර්තා වේ.
එසේම දැනටමත් විදුලිබල මණ්ඩලය ඉන්ධන සහ ගල් අඟුරු කිසිදු ලිඛිත ගිවිසුමකට යටත් නොවූ මිල ගණන් යටතේ මිලදී ගනු ලබන බව සඳහන්.
මෙම තත්වය විදුලිය නිෂ්පාදන පිරිවැයට සහ අවසාන ලෙස පාරිභෝගිකයින්ගෙන් අය කරන ගාස්තුවලට සෘජුවම බලපාන බව PUCSL දක්වයි.
එමෙන්ම නියාමකයාට අනුව, මෙම මිල ගණන් ගණනය කරනු ලබන ආකාරය සම්බන්ධයෙන් ද කිසිදු විනිවිදභාවයක් නැති අතර, මෙම තත්ත්වය නියාමන විනිවිදභාවයට සහ සමස්ත ඉන්ධන පිරිවැය සම්ප්‍රේෂණ යාන්ත්‍රණයේ අඛණ්ඩතාවට හානි කර ඇති බව සඳහන්.
එබැවින් මෙය ඉන්ධන ප්‍රසම්පාදන ක්‍රියාවලියේ වගකීමක් නොමැති බවද දක්වයි. මේ අතර PUCSL විදුලිබල උත්පාදනයේ සුරක්ෂිතභාවය, විශ්වසනීයත්වය සහ පිරිවැය කාර්යක්ෂමතාව සහතික කිරීමට CEB මඟින් නිසි ලෙස අනුමත කරන ලද ඉන්ධන සැපයුම් ගිවිසුම්වලට එළඹීම අත්‍යවශ්‍ය බව අවධාරණය කරයි.
එසේම කොමිෂන් සභාව අදහස් කරන්නේ මෙම ගිවිසුම් සියලු පාර්ශවයන්ට විනිවිදභාවයෙන් යුක්ත විය යුතු අතර, මහජන උපදේශන ක්‍රියාවලියේ කොටසක් විය යුතු බවටයි.
එමෙන්ම පසුගිය 2023 වසරේ සිට මේ වන තෙක් මේ පිළිබඳව විවිධ නියෝග සහ උපදෙස් ලබා දුන්නද, විදුලිබල මණ්ඩලය මඟින් පිළිගත හැකි සම්පූර්ණ සහ අවසන් කරන ලද ගිවිසුම් කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවට ද චෝදනා එල්ල වේ.
එසේම මෙම බලාත්මක කිරීම මගින්, CEB මඟින් ශ්‍රී ලංකා විදුලිබල පනත සහ එහි බලපත්‍රය යටතේ කොමිෂන් සභාව මඟින් නිකුත් කරනු ලබන සියලු තීරණ, උපදෙස් සහ නියෝගවලට අනුකූල වීම සහතික කිරීමට බලාපොරොත්තු වන බව ද වාර්තා වේ.
එමෙන්ම විදුලිබල මණ්ඩලය අඳාළ බලාත්මක කිරීමේ නියෝගය උල්ලංඝනය කරනු ලැබුවහොත් එය 2009 ශ්‍රී ලංකා විදුලිබල පනත යටතේ වරදක් වශයෙන් සලකනු ලැබෙන බව සඳහන්.
එහිදී මහෙස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ සාරාංශ නඩු විභාගයකින් අනතුරුව රුපියල් මිලියන 1ත් 10ත් අතර දඩයකට හෝ, උල්ලංඝනය කිරීම දිගටම පවතී නම්, සෑම දිනකටම රුපියල් 500,000ක අමතර දඩයකට යටත් වීමට සිදුවනු ඇති බව ද සඳහන්.