නත්තල වෙනුවෙන් නුදුරේදීම රැඳවියන් නිදහස් කරනවා - බන්ධනාගාර දෙපාර්තමේන්තුව
නත්තල් දිනයේ සිරකරුවන් නිදහස් කිරීම සිදු නොවූවද, නත්තල් සමාව යටතේ රැඳවියන් නිදහස් කිරීම නුදුරේදීම සිදුවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් අද දෙරණ වාර්තා කර ඇත.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, නිදහස් කිරීමට සුදුසුකම් ලත් රැඳවියන්ගේ ලැයිස්තුව දැනටමත් අදාළ අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇති බවයි.
කෙසේ වෙතත්, රැඳවියන්ට අදාළ අතිරේක වාර්තා ඉල්ලා ඇති අතර, අවශ්‍ය ලියකියවිලි සම්පාදනය කර ඉදිරිපත් කිරීමට දැනට පියවර ගෙන ඇති බවත්, පරිපාලන ක්‍රියාපටිපාටි අවසන් වූ පසු නත්තල් සමාව යටතේ සුදුසුකම් ලත් රැඳවියන් නිදහස් කරන බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව තහවුරු කරයි.
පසුගිය වෙසක් පොහොය දිනයේ ජනාධිපති සමාව යටතේ සමාවට නුසුදුසු රැඳවියන් තිදෙනෙකු අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස් වීමේ සිදුවීම සමඟ රැඳවියන් නිදහස් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර පරිපාලනයේ දැඩි අවධානයක් යොමු වී තිබේ.