ජනාධිපති පොදු සමාවට අලුත් නීති - විනිසුරු තුරෙයිරාජාගේ වාර්තාව එළියට
දණ්ඩනයට නියම වූ බන්ධනාගාර රැඳවියන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම සඳහා ක්රමානුකූල, සාධාරණ සහ විනිවිදභාවයෙන් යුත් නව ක්‍රමවේදයක් සකස් කිරීම වෙනුවෙන් පත් කළ කමිටුවේ වාර්තාව, එහි සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා විසින් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ අයෙෂා ජිනසේන මහත්මිය වෙත භාරදී තිබේ.
2025 ජූනි 25 වැනිදා කැබිනට් මණ්ඩලය විසින් මෙම කමිටුව පත් කරනු ලැබුවේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාවේ විධිවිධාන, අදාළ නීති හා රෙගුලාසි සහ දැනට ක්‍රියාත්මක පරිපාලන ක්‍රියාපටිපාටි සමාලෝචනය කර, ජනාධිපති පොදු සමාව ලබාදීමේ ක්‍රියාවලියේ පවතින අඩුලුහුඬුකම් හඳුනාගෙන ඒ සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමේ අරමුණෙනි.
මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස්, අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංග කරවිට, පුනරුත්ථාපන කාර්යාංශයේ සභාපතිනි මහාචාර්ය වසන්තා සුභසිංහ, විශේෂඥ වෛද්‍ය චිත්තහාරි අභයනායක, හිටපු වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිෂාන් ධනසිංහ, වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (නීති) රොෂානි හෙට්ටිගේ සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චන්දිමා වැලිකල යන මහත්ම මහත්මීන් කටයුතු කළහ.
බන්ධනාගාරවල පවතින අධික තදබදය අවම කිරීම, රැඳවියන්ගේ පුනරුත්ථාපන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල බන්ධනාගාර පද්ධතියක් ගොඩනැගීම සඳහා රජය ක්‍රියාත්මක කරන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළේ වැදගත් පියවරක් ලෙස මෙම වාර්තාව සැලකේ.
කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ සලකා බලා, සුදුසු පරිදි ඒවා ක්‍රියාත්මක කිරීමට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය ඉදිරි කාලයේදී පියවර ගන්නා බව සඳහන් වේ.