ලංකාවේ රෝගීන්ට සුභම සුභ ආරංචියක්
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසා ඇත්තේ පොරොත්තු ලේඛනවල සිටියදී අවාසනාවන්ත ලෙස මියයන රෝගීන්ගේ ජීවිත රැක ගැනීම සඳහා ජනපති අරමුදලේ මුදල් යොදවා නව වැඩපිළිවෙළක් ජනපති උපදෙස් මත ක්‍රියාත්මක කරන බවයි.
මහනුවරදී මාධ්‍ය හමුවටකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ රජයේ රෝහල්වල හෘද, අක්ෂි සහ අස්ථි සැත්කම් සඳහා පවතින දිගු පෝලිම් අඩුකර ගැනීම සඳහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රෝහල්වල දැනට පාවිච්චියට නොගන්නා ශල්‍යාගාර මේ සඳහා යොදා ගන්නා බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසුවා.
“අපේ රටේ සමහර පරීක්ෂණ හා සැත්කම් සඳහා ලොකු පොරොත්තු ලේඛනයක් තියෙනවා. හෘද රෝගවලට ලක්ව සැත්කම් සඳහා දීර්ඝ කාලයක් පොරොත්තු ලේඛනවල සිටින ඇතැම් රෝගීන් ඉතාම අවාසනාවන්ත ලෙස මිය යනවා. මේ පිළිබඳව අවධානය යොමුකර ජනාධිපතිවරයාගේද අදහසකට අනුව නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. එම සැත්කම්වලට සහභාගි වන වෛද්‍යවරු ඇතුළු පිරිසට යම් ගෙවීමක් ජනාධිපති අරමුදල මගින් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. පොරොත්තු ලේඛනවල සිටියදී රෝගීන් මරණයට පත්වීම වලක්වන්න යම් ක්‍රමවේදයක් සකස් කරන්න කියලා ජනාධිපතිතුමා පැවසුවා. ජනපති අරමුදලින් ඒ සඳහා වන වියදම දරන්න සූදානම්. මේ වනවිට එම ක්‍රමවේදය සකස් කරමින් ඉන්නවා. දැනට භාවිත නොකරන ශල්‍යාගාර රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගිලක යන අංශ තුනේම තියෙනවා. මේ සම්පත් ප්‍රයෝජනයට අරන් දැනට රජයේ රෝහල්වල තිබෙන පොරොත්තු ලේඛනය අඩුකර ගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. අක්ෂ, අස්ථි හා හෘද වැනි සැත්කම් සඳහා දීර්ඝ පොරොත්තු ලේඛන තිබෙන හඳුනාගත් ක්ෂේත්‍ර තිබෙනවා. මිනිස්සු පෝලිම්වල ඉඳලා මිය යනවා නම් ජනාධිපති අරමුදලේ මුදල් තියොගෙන ඉදලා වැඩක් නැහැ කියලා ජනාධිපතිවරයා කිව්වා. එම මුදල් උපරිම විදිහට ප්‍රායෝජනය අරන් පෝලිම් අඩු කිරීම තමයි එතුමාගේ අදහස. මේ සමඟ අදාල පෝලිම් අඩු කරන්න දීර්ඝ කාලීන සැලසුමක්ද ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ රෝහල්වල දිගු පෝලිම් තිබෙන පරීක්ෂණ සඳහා අවශ්‍යය උපකරණ ලබා දීමයි. දැනට මහනුවර ජාතික රෝහලේ එන්ජියෝග්‍රෑම් පරීක්ෂණ සඳහා තිබෙන්නේ එක් යන්ත්‍රයක් පමණයි. අපි මේ වසරේදී තවත් එවැනි යන්ත්‍ර තුනක් ලබා දෙනවා. එමගින් එන්ජියෝග්‍රෑම් පරීක්ෂණ දැනට කෙරෙන ප්‍රමාණය සිව් ගුණයකින් වැඩි කළ හැකියි. එන්න එන්නම රටේ බෝනොවන රෝගවලට ගොදුරු වන පිරිස වැඩි වෙනවා. මේ නිසා පරීක්ෂණ යන්ත්‍ර වැඩි කළ පමණින්ම පොරොත්තු ලේඛන සීඝ්‍රයෙන් අඩුවේයැයි සිතන්න අමාරුයි. මේ රෝගවලට ගොදුරුවීම වැළැක්වීම සඳහා වන දැනුවත් කිරීම් ඇතුළු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමද ඒ හා සමගාමීව කළ යුතුයි.”