පොසොන් පොහෝ දිනය අදයි

mahinda rajapaksha sajith premadhasa gojabhaya rajapaksha poson poya mihidhu thero
By Sewvandhi Jun 24, 2021 01:28 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය සිදුවූ පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට (24) යෙදී තිබේ. ධර්මාශෝක රජු සහ දේවානම් පියතිස්ස රජු අතර පැවති රාජ්‍ය තාන්ත්‍රික කල්‍යාණ මිත්‍රත්වයේ ප්‍රතිඵලයක් ලෙස මිහිඳු මහරහතන් වහන්සේ බුද්ධ වර්ෂ 237 දී මෙරටට වැඩම කරනු ලැබීය. ඒ අද වැනි පොසොන් පුර පසළොස්වක පොහොය දිනකදීය.

මෙරට සමාජ, සංස්කෘතික, දේශපාලනික සහ ආගමික යන සෑම අංශයකම පරිවර්තනයක් ඇති කිරීමට මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනය ඉවහල් වුණි. මහින්දාගමනයට අමතරව පොසොන් පුර පසළොස්වක පොහොය දිනය ශාසන ඉතිහාසයේ වැදගත් සිද්ධීන් රැසක් සිදුවූ පොහොය දිනයක් ලෙස ද සැලකේ.

බුදු රජාණන් වහන්සේගේ ශරීරයෙන් ප්‍රථම වරට සවණක් ඝණ බුදුරැස් විහිදීම සිදු වූයේද අද වැනි පොහොය දිනක බව සඳහන්ය.

මෙරට ප්‍රථම මහණ උපසම්පදාව වන බණ්ඩුක උපාසක උපසම්පදාව සිදුවන්නේද අද වැනි පොහොය දිනයක බව ශාසන ඉතිහාසයේ දැක්වේ.

මෙරට බෞද්ධ ජනතාව පොසොන් පොහොය ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන ලබාදෙමින් සමරනු ඇත. කෙසේවෙතත් මෙවර පොසොන් පොහොය කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් නිවසට වී සැමරීම සියලු දෙනාගේ වගකීම බව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමල ධම්ම හිමි පෙන්වා දෙති.

උතුම් ථේරවාදී සම්බුද්ධ දේශනාව රැගෙන මිහිදු මහරහතන් වහන්සේගේ වැඩමවීම සිහිපත් කෙරෙන පොසොන් පොහොය ශ්‍රී ලාංකේය සැදැහැත් බෞද්ධයන්ගේ සදානුස්මරණීය වටිනාම දිනය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

පොසොන් පොහොය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ දේවානම් පියතිස්ස රජු ධර්මයෙහි පිහිටීමෙන් ඇරඹි සඳහම් පණිවුඩය ශ්‍රී ලංකා ද්වීපයේ මුල් බැස ගැනීමෙන් නිවුනු සැනසුණු ජීවිතයක හා සම්බුද්ධික විමංසනශීලී සමාජයක දායාදය අපවෙත උරුම වූ බවය. යහපත් රටක් ගොඩනැගීමට තථාගත දහමත්, දස රාජ ධර්මයත් පදනම කරගත් රාජ්‍ය සංකල්පයක් අපගේ පාලනයේද පූර්වාදර්ශය කරගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

මේ අතර පොසොන් පොහොය දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ බුදු දහමේ හරය නිවැරදිව තෝරා බේරා ගැනීමටත්, බුද්ධ දර්ශනය අනුව අනාගත දිවි පෙවත සැලසුම් කර ගැනීමටත් මෙම කාලය ඉතා වැදගත් බවය.

නූතන ශ්‍රී ලංකාවේ බුදුදහම මත පදනම් වූ සංස්කෘතික සමාජීය පරිසරයකට පදනම වැටුනේ මහින්දාගමනයෙන් පසුව බව පොසොන් පොහොය දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ගස් ගල් ආදී ස්වාභාවික වස්තූන් වන්දනා කරමින් සිටි ජනතාවට අර්ථවත් සංස්කෘතියක් සහ ආගමක් ලැබුනේ මහින්දාගමනයේ ප්‍රතිඵලයක් වශයෙන් බවය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha