වාහන පදවන අයගේ අවධානයට -පොලිසියෙන් හදිසි නියෝගයක්

Report

බස් නැවතුම් ස්ථානවල වාහන නවතා පොදු බස් රථවලට මගීන් නංවා ගැනීමට සහ බැස්සවීමට බාධා කරන රියදුරන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා පොලිසිය සියලුම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදී තිබේ. බස් නැවතුම් ස්ථානවල වාහන නවතා තැබීම හේතුවෙන් බස් රථ රියදුරන්ට මාර්ගයේ නතර කිරීමට සිදුවන අතර, එමඟින් රථවාහන තදබදය මෙන්ම මගීන්ගේ ආරක්ෂාවටද අවදානම් ඇතිවන බව පොලිසිය පෙන්වා දෙයි.

විශේෂයෙන් රෝද පුටු භාවිත කරන මගීන්ට පහසුකම් සැලසිය හැකි නව බස් රථ සේවයට එක්වීමත් සමඟ බස් නැවතුම් ස්ථාන නිදහස්ව තබා ගැනීමේ අවශ්‍යතාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.

එවැනි බස් රථ ආරක්ෂිතව නැවැත්වීමටත්, ආබාධ සහිත පුද්ගලයන් ඇතුළු සියලු මගීන්ට ආරක්ෂිතව බස් රථයට ගොඩවීමට සහ බැසීමටත් ප්‍රමාණවත් ඉඩකඩක් අවශ්‍ය බව පොලිසිය සඳහන් කරයි.

වෙනත් වාහන මගින් බස් නැවතුම් ස්ථාන අවහිර කිරීම හේතුවෙන් මගීන්ට බස් රථයට ගොඩවන විට හෝ බැස යන විට මාර්ගයට බැසීමට සිදුවිය හැකි අතර, එමඟින් අනතුරුදායක තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් පවතී.

රජය නිකුත් කළ විශේෂ ගැසට් නිවේදනයකට අනුව, බස් නැවතුම්පොළකට ළඟා වන ස්ථානයේ සිට මීටර් 30ක් ඇතුළත සහ එම ස්ථානයෙන් පිටවන ස්ථානයේ සිට මීටර් 15ක් ඇතුළත වාහන නැවැත්වීම තහනම් කර තිබේ.

  නම් කරන ලද බස් නැවතුම් ස්ථානවලදී, ප්‍රවේශය ඇති පැත්තේ සිට මීටර් 15ක් ඇතුළත සහ පිටවීමේ පැත්තේ සිට මීටර් 10ක් ඇතුළත වෙනත් වාහන නැවැත්වීමද ගැසට් නිවේදනය මගින් තහනම් කර ඇත.

මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, බස් රථ සඳහා නියමිත ස්ථානවල ආරක්ෂිතව නැවැත්වීමට අවස්ථාව සැලසීම සහ මගීන්ට බාධාවකින් තොරව ගොඩවීමට හා බැසීමට ඉඩ ලබාදීමේ අරමුණින්, බස් නැවතුම් ස්ථාන අවහිර කරන රියදුරන්ට එරෙහිව අදාළ නීති ක්‍රියාත්මක කරන ලෙස සියලුම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදී ඇති බව පොලිසිය සඳහන් කළේය.

අවසර නැතුව පාසල් දරුවන්ගේ වීඩියෝ සමාජ මාධ්‍යයට දැමුවොත් වැඩ වරදී- අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තද අනතුරු ඇඟවීමක්

අවසර නැතුව පාසල් දරුවන්ගේ වීඩියෝ සමාජ මාධ්‍යයට දැමුවොත් වැඩ වරදී- අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තද අනතුරු ඇඟවීමක්

බස් රථ සඳහා වෙන් කර ඇති නැවතුම් ස්ථාන නිදහස්ව තබා ගනිමින්, තම වාහන නීත්‍යනුකූලව සහ නිසි ස්ථානවල පමණක් නවතා තබන ලෙසද පොලිසිය සියලු රියදුරන්ගෙන් ඉල්ලා සිටී.