හෙට සිට පෙරහැර බලන්න එන අයට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් - එන මාර්ගය සිට සියලු තොරතුරු දන්වා වැඩපිළිවෙලක්
හෙටින් (18) ආරම්භ වන මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍ය සම්බන්ධයෙන් මහජනතාවට අවශ්‍ය තොරතුරු පහසුවෙන් ලබාගැනීමට විශේෂ තොරතුරු කළමනාකරණ පද්ධතියක් පොලීසිය මඟින් හඳුන්වා දී තිබෙනවා.
එබැවින් එම පද්ධතිය ඔස්සේ මහනුවර ඇසළ පෙරහැර නැරඹීමට පැමිණෙන මහජනතාවට පෙරහර පැවැත්වෙන කාලසීමාව තුළ පහත සඳහන් කරුණු පිළිබඳව සජීවී තොරතුරු ලබාගත හැකි බව පොලීසිය සඳහන් කරයි.
ඒ ඔස්සේ මාර්ග බාධක, ආරක්ෂක රාජකාරි, රථ වාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීම, සංචාරයිකයින්ට මග පෙන්වීම හා රථ වාහන ගාල් කිරීම් ඇතුළු විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඊට අමතරව, රථවාහන නැවැත්වීම සඳහා වෙන් කර ඇති රථගාල් පිළිබඳ තොරතුරු පෙරහැර ගමන් ගන්නා මාර්ගය පෙරහැර නැරඹිය හැකි සුදුසු ස්ථාන සනීපාරක්ෂක පහසුකම් සලසා ගත හැකි ස්ථාන අතරමං වූවන් හමුවිය හැකි ස්ථාන, යන තොරතුරුද ලබාගත හැකි බව දැනුම් දී තිබෙනවා.
එසේම මෙම පද්ධතියට පිවිසීමට ශ්‍රී ලංකා පොලීසියේ නිල වෙබ් අඩවිය වන www.police.lk වෙත පිවිස “මහනුවර ඇසළ පෙරහර” යන සබැඳිය තේරීමෙන් පද්ධතියට පිවිසිය හැකි බව සඳහන්.
තවද පෙරහැර වෙනුවෙන් සකස් කර විශේෂයෙන් https://kandyesalaperahera.police.lk පොලිස් වෙබ් අඩවිය ඔස්සේ ද ලබාගත හැකි බව සඳහන්.
එම සේවාව ලබා ගැනීම තුළින් මහජනතාව හා බැතිමතුන් වෙත අනවශ්‍ය ගමනාගමනයෙන් වැළකී, සැබෑ කාලීන තොරතුරු හරහා ඉක්මන් හා පහසු සේවාවක් ලබා ගැනීමෙන් කාලය ඉතිරි කරගත හැකි වේ.
තවද ඕනෑම ස්ථානයක සිට ජංගම දුරකථනය, ටැබ් යන්ත්‍රය හෝ පරගණකය ඔස්සේ මෙම සේවාව බුක්ති විදීමේ පහසුව සැලසීම හා පෙරහර සමයේදී මහජනතාවගේ හා බැතිමතුන්ගේ පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාව සහ පහසුව වෙනුවෙන් මෙම පද්ධතිය නිර්මාණය කර ඇති බව සඳහන්.
එබැවින් පෙරහැර නැරඹීමට පැමිණීමේදී මෙම සේවාව භාවිතා කර ගමන් පහසුව සලසාගන්නා මෙන් ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් හා බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියි. එසේම ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරයි.