පිල්ලෙයාන් ජූලි 24 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ලබන ජූලි 24 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (13) නියෝග කළේය.
වීඩියෝ සම්මන්ත්‍රණ තාක්ෂණය ඔස්සේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර, නඩුව මඩකලපුව මහෙස්ත්‍රාත් ඒ. දර්ශිනි මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය. 2008 වසරේ මඩකලපුව දිස්ත්‍රික්කයේ සිදුවූ පුද්ගල ඝාතන පහක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනු කර ඇති නඩුවේ තුන්වන සැකකරු ලෙස සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නම් කර ඇත.
අද පැවති නඩු විභාගයේදී කල්ලඩි ප්‍රදේශයේ සිදු වූ ඝාතන පහකට අදාළ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් කරුණු සලකා බැලුණු අතර, සාක්ෂිකරුවන්ද අධිකරණය හමුවේ පෙනී සිටියහ. සැකකරු වෙනුවෙන් නීතිඥවරුන් දෙදෙනෙකු පෙනී සිටියේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ, 2008 වසරේදී T-56 ගිනිඅවි භාවිත කර සිදු කළ බව කියන ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් අනාවරණය වූ තොරතුරු මත මෙම නඩුව පවරා ඇති බවයි.
නඩුවට අදාළ සිද්ධි අතර, 2008 ජනවාරි 9 මඩකලපුව කල්ලඩි මුරුගන් කෝවිල අසල හිටපු පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු ඝාතනය කිරීම, 2008 මැයි 22 කාත්තන්කුඩි ප්‍රධාන මාර්ගයේදී පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ 2008 අගෝස්තු 20 වවුනතීව් කොතියපුල ප්‍රදේශයේදී තවත් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළත් වේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකරු ලබන ජූලි 24 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය. මේ අතර, මෙම සිද්ධියට සම්බන්ධ කල්ලඩි ඉඩම් ආරවුලකට අදාළ වෙනම නඩුව ඔක්තෝබර් 29 දක්වා කල් තැබීමටද අධිකරණය තීරණය කළේය.