නුවරට එපා කියද්දි එන වන්දනා නඩවලට වැඩ වරදී
දළදා දැක්ම’ සඳහා ලක්ෂ හතරහාමාරක පමණ සැදැහැවතුන් පිරිසක් දැනටමත් මහනුවර නගරයට හා අවට ප්‍රදේශයට පැමිණ තිබෙන බැවින් නැවත දැනුම් දෙන තුරු වන්දනාකරුවන් රැගත් වාහන නගරයට ඇතුළු කර නොගන්නා බව මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පැවසීය.
එලෙස පැමිණි බස් රථ 32ක් ගන්නෝරුව ප්‍රදේශයේදී පෙරේදා (23 වැනිදා) රාත්‍රියේ නතර කළ බවද ඒ මහතා කීවේය. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ඊයේ (24 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙසේද පැවසුවේය.
‘‘වන්දනාකරුවන් රැගෙන කුරුණෑගල දෙසින් එන බස්රථ මාවතගම පොලිස් වසමේ මැටිබොක්ක ප්‍රදේශයේදීත්, දඹුල්ල දෙසින් එන වාහන අළුවිහාරේදීත්, මහියංගණ දිගන මාර්ගයේ එන වාහන හසලක ප්‍රදේශයේදීත්, හඟුරන්කෙත දෙසින් එන වාහන මයිලපිටියේදීත්, ගම්පොළ දෙසින් එන වාහන වැලිගල්ලේදීත් සහ කෑගල්ල දෙසින් එන වාහන මාවනැල්ලේදීත් නතර කිරීමට පොලිසියට දැනුම් දී තිබෙනවා.
එම බස්රථවල පැමිණෙන ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පළාත් පාලන ආයතන මගින් ලබාදීමට සැලසුම් කර තිබෙනවා.
ඉතිරි දිනවලදී දළදා වහන්සේ වන්දනා කිරීමට ප්‍රමාණවත් ජන පිරිසක් මේ වනවිටත් මහනුවරට පැමිණ තිබෙන බැවින් අලුතින් එන අයට එම අවස්ථාව ලබාගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. තත්ත්වය කළමනාකරණය කරගැනීමට හැකි වුවහොත් දළදා වහන්සේ වැඳපුදා ගැනීමෙන් පසුවන සැදැහැවතුන්ට මහනුවරට පැමිණෙන ලෙස නැවත දැනුම් දීමක් කරනවා.
