සූකර කර්මාන්තය නඟාසිටුවීමට නව රක්ෂණ යෝජනා ක්‍රමයක්

By R.rishma Jul 30, 2026 04:34 PM GMT
Report

අප්‍රිකානු සූකර උණ වසංගතයෙන් බලපෑමට ලක්වූ මෙරට සූකර කර්මාන්තය යළි නඟාසිටුවීමේ අරමුණින් නව සූකර රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර ගෙන තිබේ.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ, ජනාධිපති කාර්ය සාධක බලකායේ තීරණයකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.

මෙහි ප්‍රධාන අරමුණ වන්නේ සූකර පාලනයේ නිරත ගොවීන්ගේ ආර්ථික ආරක්ෂාව තහවුරු කිරීම සහ වසංගත තත්ත්වයන් හේතුවෙන් සිදුවන ආර්ථික පාඩු අවම කිරීම බවද එම මණ්ඩලය පෙන්වා දෙයි.

ඒ අනුව, 2026 අගෝස්තු මාසය "සූකර රක්ෂණ මාසය" ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, අභිජනන සූකර සතුන් රක්ෂණයට යොමු කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වාණිජ මට්ටමින් පවත්වාගෙන යන සූකර ගොවිපළවල අභිජනන සතුන් මෙම නව රක්ෂණ යෝජනා ක්‍රමයට ඇතුළත් කිරීමට නියමිත බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.