දොලවත්තගේ දණ්ඩ නීති සංග්‍රහ පනත් කෙටුම්පතට පෙත්සමක්..!

Sri Lanka
By Sewvandhi Apr 17, 2023 12:30 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රේෂ්ඨාධිකරණයට, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන මෙන් ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

එනම්, විශ්‍රාමික යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකු වූ කේ. අතුල එච්. ද සිල්වා, ශෙනාලි ඩී. වඩුගේ සහ ජෙහාන් හමීඩ් යන අය විසින් එම පෙත්සම ගොනුකර තිබෙනවා.

අදාළ පෙත්සමේ, වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත සහ නීතිපතිවරයා නම් කර තිබුණි. එම  පෙත්සම්කරුවන් කියා සිටින්නේ වගඋත්තරකාර ප්‍රේමනාත් සී. දොලවත්ත මන්ත්‍රීවරයා විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් වශයෙන් ඉදිරිපත් කර තිබෙන අදාළ පනත් කෙටුම්පත තුළින් සමලිංගික ක්‍රියාකාරකම් අපරාධමය නොවන වරදක් වශයෙන් අර්ථකථනය කිරීමට උත්සාහ කර ඇති බවත් ඒ තුළින් එම ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීමක් සිදුවන බවය.

එය දණ්ඩ නිති සංග්‍රහය පිළිබඳව ව්‍යවස්ථාදායකයේ අපේක්ෂාවන්ට පටහැනි බවත් ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන බරපතළ ලෙස උල්ලංඝනය වන බවත් පෙත්සමේ සඳහන් කර තිබේ.

බෞද්ධ, හින්දු, කිතුනු හා ඉස්ලාම් ආගමික විශ්වාසයන් අනුව පවා සමලිංගික කටයුතු අනුමත කිරීමක් සිදුකර නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත ප්‍රතිපාදන එම ආගමික විශ්වාසයන්ට පටහැනි බවත් පවසයි.

එමෙන්ම අදාළ පනත් කෙටුම්පතින් අපේක්ෂා කරන කරුණු මෙරට සංස්කෘතික හා ජාතික අනන්‍යතාවයන්ට ද පටහැනි බව පෙත්සම්කරුවන් කියා සිටියි.

එබැවින් යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත ප්‍රතිපාදනවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයවීමක් සිදුවන හෙයින් එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now