මාතර මියගිය සිරකරුවාගේ අවමංගල්‍යයට සහභාගී වුවන්ට වෙඩිතැබූ පුද්ගලයෙකු අත්අඩංගුවට..
මාතර, වැලිගමදී සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකකරන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැලිගම ප්‍රදේශයේදී ඊයේ (06) රාත්‍රී කාලයේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වල්ලිවල, වැලිගම ප්‍රදේශයේ පදිංචි 24ක් හැවිරිදි තරුණයෙක් වන අතර සැකකරුගෙන් අනාවරණය කරගන්නා ලද තොරතුරු මත අපරාධය සිදු කිරීමට භාවිතාකළ යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන ඇත.
මාතර, වැලිගම දී පසුගිය 04 වනදා සිදුකළ වෙඩි තැබීමකින් 26 හැවිරිදි තරුණයෙකු මියගොස් තවත් තරුණයෙකු තුවාල ලබා තිබුණි.
පොලීසිය පැවසුවේ, යතුරුපැදි තුනකින් පැමිණි වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ, පසුගියදා මාතර බන්ධනාගාරයේදී බෝ ගසක අත්තක් කඩාවැටී මියගිය සිරකරුවාගේ අවමංගල්‍යයට සහභාගී වී නැවත පැමිණෙමින් සිටි පිරිසක් බවය.
මාතර බන්ධනාගරයේ සිරකරුවන් රඳවා සිටින වාට්ටුවක් මතට බෝ අත්තක් කඩා වැටීමෙන් මියගිය සිරකරුවාගේ දේහය තැම්පත් කර ඇති තුර්කි ගම්මානයේ පිහිටි නිවසට පස් දෙනෙකුගෙන් යුත් පිරිසක් පසුගිය 03 වනදා රාත්‍රියේ ගොස් තිබුණි.
අනතුරුව පසුගිය 04 වනදා අලුයම එකට පමණ එම පිරිස නැවත නිවෙස්වෙත පා ගමනින් පැමිණෙමින් සිටියදී වැලිගම, කප්පරතොට, වල්ලිවෙල මාර්ගයේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.
යතුරුපැදි තුනකින් පැමිණි නාඳුනන පිරිසක් පිස්තෝලයකින් හා ටී 56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පළාගොස් තිබුණි. එහිදී පාගමනින් ගමන්කරමින් සිටි පස්දෙනාගෙන් දෙදෙනෙකුට තුවාල සිදුව ඇති අතර පසුව ඔවුන් දෙදෙනාව මාතර, වලාන රෝහලට ඇතුළත් කරනු ලැබීය.
රෝහල්ගත කිරීමේදී එක් අයෙක් මියගොස් ඇති බවත් අනෙක් පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර රෝහලවෙත මාරුකර ඇති බවත් පොලීසිය සඳහන් කළේය.
මියගිය පුද්ගලයා 26 හැවිරිදි කප්පරතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ආකාෂ් තාරුක නැමැත්තෙකි. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ තරුණයා 29 හැවිරිදි සෙහාන් දුලාංජල නැමැත්තෙක් බව පොලීසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය, වැලිගම හා මාතර පොලීස් ස්ථාන මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
You may like this video